උත්තරධ්‍රැවයේ අයිස් තට්ටු දියවීම වේගවත් වේ

ජන 22, 2019

    උත්තර ධ්‍රැවයට ආසන්න අයිස් තට්ටු දියවීම වේගවත් වී ඇතැයි නවතම අධ්‍යයනකින් හෙළි වී තිබේ.

    එක්සත් ජනපදයේ ඔහයෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාව සම්බන්ධ මහාචාර්ය, මයිකල් බේවිස් ඇතුළු කණ්ඩායමක් මේ බව ප්‍රකාශ කරති. දේශගුණික වෙනස්වීම නිසා ග්‍රීන්ලන්ඩ් හි අතිවිශාල හිම තට්ටු දියවීම, පෙර බලාපොරොත්තු නොවූ ආකාරයට වේගවත් වී ඇතැයි මෙම අධ්‍යයනයෙන් හෙළි කර ඇත. බේවිස් සහ කණ්ඩායම පසුගිය කාලයේ කළ අධ්‍යයනයන්ට වඩා හිම තට්ටු මේ වෙන විට වෙනස් වී තිබේ. පසුගිය මස එලිදැක්වූ අධ්‍යයනයට අනුව ග්‍රීන්ලන්ඩ් අයිස් තට්ටුවල, මුහුදු මට්ටම අඩි 23කින් ඉහළ දැමීමට තරම් ජලපරිමාවක් අඩංගු බව ප්‍රකාශ කොට ඇත.

    එ අනුව කුඩා දූපත් සහ වෙරළබඩ ආශ්‍රිත නගර මේ තත්වය නිසා වැඩි බලපෑමට ලක්වනු ඇත. ලෝක ජනගහනයෙන් 40% සිට 50%ක පමණ ජනතාවක් ජීවත්වන ලෝකයේ විශාලතම නගර 10න් 8ක් වෙරළබඩ අශ්‍රිතව පිහිටා ඇත. ඒ නිසා මෙම මුහුදු මට්ටම ඉහළ යෑම ඔවුන් භයානක තත්වයකට ඇද දමනු ඇත.

    දේශගුණික විපර්යාසය මේ වන විට ආපසු හැරවිය නොහැකි මට්ටම පසු කර ඇති බව මහාචාර්ය, මයිකල් බේවිස් කියා සිටී. මානව වර්ගයාට, ඒ සඳහා යමක් කිරීමට දැන් ප්‍රමාද වැඩි යැයි මෙම අධ්‍යයනයේ ප්‍රධානීයෙකු වන මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    මේ සඳහා ක්‍රියාමර්ගයක් ගත නොහැකි මට්ටම දක්වා වර්ධන වී ඇති නිසා දේශගුණික විපර්යාසවලට හැඩගැහීම සහ එය අවම කිරීම හැර මානව වර්ගයාට කළ හැකි කිසිවක් නොමැති වනු ඇති බව ඒ මහතා අවධාරණය කරයි. 

    මහාචාර්යවරයාගේ කණ්ඩායම සොයාගත් පරිදි 2003 දී අයිස් දියවීමේ ප්‍රවාණතාව 2012 වන විට ආසන්න වශයෙන් 4 ගුණයකින් පමණ වේගවත් වී ඇති අතර එය ග්‍රීන්ලන්ඩ්වලට නිරිත දෙසින් වඩා වැඩියෙන් සිදුවේ. එම අයිස් දියවීම සම්බන්ධව තවදුරටත් නිරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බව බේවිස් මහතා පවසයි.

    Last modified on අඟහරුවාදා, 22 ජනවාරි 2019 16:40

    Latest News