ඉන්දියාවේ 'පද්ම ශ්‍රී' සම්මානය ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට (වීඩියෝ)

ජන 27, 2020
  • ඉන්දියාවේ සිවිල් පුරවැසියෙකුට පිදෙන ඉහළතම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානය ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට ප්‍රදානය කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

    මෙරට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා මේ බව ඊයේ නිවේදනය කළේය. 71 වැනි ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් විශේෂ උත්සවයක් ඊයේ රාත්‍රී පැවැත්විණ. ඉන්දීය මහ කොමසාරිවරයාගේ නිල නිවසේදී. ඒ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. දේශපාලඥයන්, තානාපතිවරුන්,මහකොමසාරිස්වරුන් ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.

    තරංජිත් සිං සන්දු - ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්

    ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස ධුර කාලය අවසානයට පැමිණ සිටින මට අද විශේෂ දිනයක්. මෙම සුන්දර රටේ දෙවතාවක් සේවය කිරීමට ලැබීම මා ලද ගෞරවයක්. මෙම පසුබිමේ මට සතුටුයි නිවේදනය කරන්න ඉන්දියාවේ සිවිල් වැසියෙකුට පිරිනැමෙන ඉහළතම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ දියණියන් දෙදෙනෙකුට පිරිනැමීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. ඒ.ආචාර්ය වජිරා චිත්‍රසේන හා මහාචාර්ය ඉන්දා දසනායකටයි.

    මෙරට ප්‍රවීණතම මුද්‍රා නාට්‍ය නිර්මාණ ශිල්පී චිත්‍රසේනයන්ගේ බිරිඳවූ ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය මෙරට නර්තන අංශය සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ කලාශිල්පිණියක වෙයි.

    චිත්‍රසේනයන් හා එක්ව සම්මානනීය නර්තන නිර්මාණ රැසක් මෙරට කලාකේෂ්ත්‍රයට බිහි කළ වජිරා දේශීය සම්මාන රැසකින් ද පිදුම් ලැබූ කලාකාරියක්. ඇයගේ කලා නිර්මාණ ඔස්සේ ඉන්දු ශ්‍රී ලංකා සබඳතා නව මානයකට ගෙන ඒමට හැකිවූ බවයි, ඉන්දීය මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළේ.

    නැසීගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දු අධ්‍යායන අංශය 1995 වසරේ දී යළි ස්ථාපනය කිරීම සඳහා ප්‍රමුඛ කාර්ය භාරයක් සිදුකළ අයෙක්. ප්‍රමුඛ විශ්විද්‍යාලවලට අමතරව ආයතන හා පාසල් 80කට අධික සංඛ්‍යාවකදී හින්දු භාෂාව ඉගැන්වීම සිදු කෙරෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

    තරංජිත් සිං සන්දු - ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්

    එවන් ශ්‍රේෂ්ඨ කාන්තාවන්ට මෙම සම්මානය පිඳීම අපට ගෞරවයක්. ශ්‍රී ලංකාව මට විශේෂයි. ශ්‍රී ලංකාව ඉන්දියාවට විශේෂයි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ චාරිකා කළ පළමු විදේශ නායකයින්ගෙන් කෙනෙක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද සිය පළමු විදෙස් චාරිකාව සඳහා ඉන්දියාවට පැමිණීම අපට ගෞරවයක්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද නුදුරේදීම ඉන්දියාවේ දී පිළිගැනීමට අප සූදානම්.

    අනෝන්‍ය විශ්වාසය හා කැපවීම මත පදනම් වූ දෙරටේ සබඳතා පිළිබඳ නැවුම් බලාපොරොත්තුවක් ඇති බව, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේය.  විශාකාපට්නම්,සාන්ච් හා අමරාවතී නගර දක්වා දෙරට අතර ගුවන් සේවා නුදුරේදීම පුළුල් කෙරෙනු ඇති බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

    Last modified on සදුදා, 27 ජනවාරි 2020 19:59

    Latest News