මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ ඉදි කළ හයවන ඖෂධ හා සුවඳවිලවුන් කර්මාන්ත ශාලාවේ ප්‍රථම අදියරේ ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීම අද (20) පෙරවරුවේ ආරම්භ කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසීය.
දේශීය පෞද්ගලික සමාගමක් විසින් ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලාවේ ආයෝජන මුදල රුපියල් බිලියන 2.5 කි. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 450 කට මෙමගින් රැකියා හිමි වෙයි. ඖෂධ, ඖෂධ ආලේපන, සුවඳ විලවුන් නිෂ්පාදනය කරන මෙම කර්මාන්ත ශාලාවේ යුරෝපා සංගමයේ ඖෂධ කර්මාන්ත ශාලා ඖෂධ නිෂ්පාදනය කරන ආකාරයට නිෂ්පාදන කටයුතු සිදු කරයි.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරිම සදහා ආයෝජකයින් 46 දෙනෙකු සමග රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ගිවිසුම් අත්සන් කර ඇත. ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඖෂධ ආනයනය කිරිම සදහා රුපියල් බිලියන 45 ක මුදලක් වැය කරයි. එම මුදල ඉතිරි කර ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ නිෂ්පාදනය මෙරටදීම ආරම්භ කිරිම සදහා ඖෂධ කර්මාන්ත ශාලා ස්ථාපිත කිරිමට තීරණය කෙරිණ.
ඒ අනුව මහනුවර, හොරණ, රත්මලාන, කළුතර යන ප්‍රදේශවල කර්මාන්ත. ශාලා 05 ක් මේ වන විට ඖෂධ නිෂ්පාදනය සිදු කරයි. වසර 2020 වනවිට මෙරටට අවශ්‍ය ඖෂධ සියයට 85 ක් මෙරටදීම නිෂ්පාදනය කිරීම සදහා මෙම පියවර ගෙන ඇත.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ආරම්භ කළේ වත්මන් රජය බිහිවීමෙන් පසුවයි. අද ලංකාවේ 06 වන ඖෂධ කර්මාන්ත ශාලාව විවෘත කරනවා. දේශීය ව්‍යාපාරික සමාගමක් විසින් ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලාව මගින් නිෂ්පාදනය කරන ඖෂධ විදේශීය වෙළෙඳපොලටත් යොමු කිරිමට බලාපොරොත්තු වෙනවා. 2019 වර්ෂය අවසන් වන විට තවත් ඖෂධ කර්මාන්ත ශාලා 03 ක් විවෘත කිරීමට නියමිතයි. සමට අවශ්‍ය ක්‍රීම් වර්ග, ඖෂධ වර්ග, මෙම කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කරනවා. ලංකාවේ රෝහල්වලට ඇතුලුවන රෝගීන්ගෙන් සියයට 80 ක් මිය යන්නේ බෝනොවන රෝග හේතුවෙන්. ඇතැම් රෝග පාලනය කිරීමට හැකි වුවත්, එච්.අයි.වී සහ ඩෙංගු රෝගය පාලනය කිරීමට තිබෙනවා. දකුණු ආසියාවේ අනෙකුත් රටවල් හා සැසදීමේ දී එච්.අයි.වී රෝගය ශ්‍රී ලංකාවේ පාලනය කර තිබෙනවා. 2017 වසරේ දී ඩෙංගු රෝගීන් උත්සන්න වුවද එය පාලනය කිරීමට අපි ගත් ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය ඇගයීමට ලක් කළා. දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව මීට දශකයකට පමණ පෙර වර්තා වූ සඛ්යාවට වඩා අද වැඩි වී තිබෙනවා. පුද්ගලයින් 10 කගෙන් 08 ක් මිය යන්නේ දියවැඩියා රෝගයෙන්. එම තත්ත්වය පාලනය කිරීමට දැවැන්ත ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.”
“දුම්බීම අවම කිරිම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති ක්‍රියාමාර්ග 10 න් 09 ක්ම ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර තිබෙනවා. දුම්වැටි සදහා සියයට 90 ක බදු පැනවීමේ දී විවිධ බලපෑම් එල්ල වුනා. මම සාකච්ඡා මාර්ගයෙන් විසදීමට පියවර ගත්තා. පෞද්ගලික අංශය සමග අමනාපයක් නැහැ. නමුත් පෞද්ගලික අංශයෙන් දුප්පත් ජනතාවට අගතියක් වෙනවා නම් ඊට විරුද්ධව නැගී සිටිනවා. දුම්වැටි භාවිතය අවම කිරිම සදහා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්වැටි බිලියනයක් භාවිතයෙන් ඉවත් වී තිබෙනවා. නමුත් රට තුල මතයක් ඇති කරනවා දුම්වැටි වෙනුවට බීඩි භාවිතය වැඩි වී තිබෙනවා කියලා. එය බොරුවක්. නිකොටින් වලට ඇබ්බැහි වූ අයට බීඩි භාවිතා කරලා එම සන්තර්පනය ලබා ගන්න බැහැ. බීඩි වල වැඩිවීමක් නැහැ. නීති විරෝධී සිගරට් භාවිතය වැඩි වෙනවා නම් රජය, පොලීසිය, ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධව එය පාලනය කිරිමට පියවර ගත යුතුයි. දුම්කොළ සමාගම් විසින් තමයි නීති විරෝධි සිගරට් ලංකාවට ගෙනඒමට කටයුතු කරන්නේ. ඉන් පසු දුම්කොළ සමාගම ම ඔත්තුව ලබාදෙනවා. රට තුල ජනමතයක් ඇති කරනවා නීති විරෝධී සිගරට් භාවිතය වැඩි වෙලා කියලා. මහා භාණ්ඩාරයේ සිටින ඇතැම් නිලධාරින් ද දුම්කොළ සමාගම වෙනුවෙන් අදහස් දක්වනවා. පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමයක් ආරම්භ කළෙත් ජනතාව දියවැඩියාවෙන් ආරක්ෂා කිරීමටයි. ඊටත් බලපෑම් එල් වුනා. නමුත් බලපෑම් වලට යටත් නොවී එම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යනවා. දින 52 ක දේශපාලන අර්බුදය සමයේ පැණිබීම සදහා පනවා තිබූ බදු ඉවත් කිරීමට පියවර ගත්තා. ඒ ඊනියා අග්‍රාමාත්‍යවරයාට සහනයක් ලැබෙන පරිදි. වාර්තා වන පරිදි රුපියල් බිලියන 04 ක මුදලක් පැණිබීම සමාගම් වලින් ලබාගෙන තිබෙනවා“ යැයි ඔහු කියා සිටියේය.
මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, ACE ඖෂධ කර්මාන්ත ශාලාවේ සභාපතිවරයා ඇතුලු අධ්යක්ෂ මණ්ඩලය, සෙලාන් බැංකුවේ නිලධාරීන්, ජනප්‍රිය නිළි මාලනී ෆොන්සේකා ඇතුලු නළු නිළියන් විශා පිරිසක් එක්ව සිටියහ.