ජිවිතය ජයගත් තුරුණු කතුන්

ජන 21, 2019

    ලංකා බැංකුවේ “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය තරුණ ව්‍යවසායකයින් හට ඔවුන්ගේ පෞද්ගලික මෙන්ම ජාතික ආර්ථිකයට සවියක් වීමට මහගු අවස්ථාවක් ලබාදී තිබේ.

    බලංගොඩ, වැලිගෙපොල පදිංචි රූපිකා මල්කාන්ති මහත්මිය, “රූපිකා සාරි ජැකට්” නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන තරුණ ව්‍යවසායිකාවකි. තිදරු මවක් වන ඇයගේ ස්වාමි පුරුෂයා ජාතික ජලසම්පාදන මණ්ඩලයේ සහකාර ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරයි. බලංගොඩ බුද්ධ ජයන්ති මධ්‍ය විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ ඇය, දක්ෂිණ සංවර්ධන අධිකාරියෙන් සහ තවත් පෞද්ගලික උපදේශිකාවන් දෙදෙනෙකුගෙන් මැහුම් පිළිබද පාඨමාලාවන් හදාරා ඇත. නිවසේ සිට තම ව්‍යාපාරය පවත්වාගෙන යන ඇයට, බලංගොඩ නගරයේ ව්‍යාපාර ස්ථානයක් ආරම්භ කිරීම එකම බලාපොරොත්තුව විය. “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය ගැන වැලිගෙපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැනුවත් වූ පසු, මෙම ණය යෝජනා ක්‍රමය අයදුම් කිරීමට තීරණය කළාය.

    දින කිහිපයකට පෙර ඉතා පහසුවෙන් රු.500,000ක ණයක් ලබා ගැනීමට ඇයට හැකිවිය. මෙම ණය මුදලින් තම ව්‍යාපාරයට අවශ්‍ය මැසීමේ යන්ත්‍ර මිලදීගෙන, තවත් සේවිකාවන් දෙදෙනෙකු පමණ සේවයට බඳවා ගෙන තම ව්‍යාපාරය නගරයට ගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කරගැනීම ඇගේ බලාපොරොත්තුවයි.
    තමා වැනි කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය මහඟු රුකුලක් බව ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

    රත්නපුර දිස්ත‍්‍රික්කයේ කහවත්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි චානිකා හංසනී ගුණතිලක “Salon හංසි” නමින් රූපලාවන්‍යාගාරයක් පවත්වා ගෙන යන අතර ඉන් නොනැවතී ඇය ‘ඔලිවියා’ නමින් ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් ද පවත්වා ගෙන යනු ලබයි. 23 වන හැවිරිදි වියේ පසුවන ඇය සැබැවින්ම දිරිය දියණියකි. ඇය තමාගේ ව්‍යාපාරික සිහිනය සැබෑවක් බවට පත්කර ගැනීම සඳහා නිරන්තර උත්සහයක යෙදෙන්නීය. ඇය අද වන විට අංශ දෙකක් පුරා විහිදෙන ව්‍යාපාර ද්විත්වයක කොටස්කාරියකි. ඇයගේ උත්සහයට සහ විශ්වාසයට දිරියක් දුන් තුරුණු දිරිය ණය යෝජනා ක‍්‍රමය සැබැවින්ම ඇයට ආශිර්වාදයක් වූ බව කිව යුතුමය.

    ඇය රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයට සහ ඇඳුම් මැසීමේ කේෂත‍්‍රයට පැමිණ අද වන විට අවුරුදු 3 ක් පමණ ඉක්ම ගොසිනි. ඉන්පසුව ඇයට අභියෝගයක්ව පැවතියේ නවීන අංගෝපාංග වලින් සමන්විත උපකරණ තම රූපලවන්‍යාගාරයට හා මැහුම් ව්‍යාපාරය සඳහා ලබා ගනිමින් මෙම ව්‍යාපාර දෙකම එකම ස්ථානයක පවත්වා ගෙන යාම සඳහා ස්ථිර ස්ථානයක් සකස් කර වඩා ගුණාත්මක සේවාවක් තම සේවාදායකයාට ලබා දීමය. එම අභියෝගයට අති සාර්ථක පිළියමක් ලබා දෙන්නේ තුරුණු දිරිය ණය යෝජනා ක‍්‍රමයයි. තුරුණු දිරිය සම්බන්ධයෙන් ඇයට දැනගන්නට ලැබෙන්නේ කහවත්ත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් මගිනි. ඒ අනුව ඇය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය වෙත යොමු කරන අතර ඉන් ඇය මෙම ණය යෝජනා ක‍්‍රමය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගන්නේ එහිදීය. තුරුණු දිරිය ණය යෝජනා ක‍්‍රමය යටතේ ඇය අයදුම් කරනු ලබන්නේ රු.300,000.00 ක මුදල් ප‍්‍රමාණයකි. ඇය අපේක්ෂා කළ මුදල ඒ ආකාරයෙන්ම ඇය වෙත ලැබී අවසානය.

    මෙම ණය යෝජනා ව්‍යාපෘතිය දිවයිනේ සියළුම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධීකරණය කරමින් රටේ තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණ කරගෙන ක්‍රියාත්මක කරනු ලබන අතර එමගින් උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලි සිටින සහ වසර 40කට නොවැඩි තරුණ ව්‍යවසායකයින් උදෙසා සුරැකුම් ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව, අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි. දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛා වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැක.

    Last modified on සදුදා, 21 ජනවාරි 2019 18:02

    Latest News