ඖෂධ 27 මිල අඩු කිරිමේ සූදානමක් රාජිත හෙලි කරයි

අගෝ 24, 2019

    ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයේ 18 වන සමුළුව අද (24) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට ෂැන්ග්‍රීලා හෝටලයේ දී පැවැත්විනි.

    අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා-

    “අද සාකච්ඡා කරන ප්‍රධාන දෙය තමයි ඖෂධ මිල සහ ඖෂධ වල ගුණාත්මකභාවය. ගුණාත්මක ඖෂධ ඉතාම සාධාරණ මිලකට රජයටත් වෙළෙදපොලටත් සැපයීම තමයි රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඒකීය පරමාර්ථය. ඖෂධ මිල නියමාණුකූල කිරීමේ දී පළමුව ඖෂධ 48 ක මිල නියමාණුකූල කිරීම තුල පමණක් රුපියල් මිලියන 4400 ක ලාභයක් මේ රටේ ජනතාවට වසරකට ලැබිලා තිබෙනවා. එමෙන්ම ගුණාත්මක ඖෂධ වල වෙළෙදාම හත් අට ගුණයකින් වැඩිවෙලා තිබෙනවා. ඒකෙන් පෙන්වන්නේ ඖෂධ අවශ්‍ය සෑම කෙනෙක්ම එය නියම අන්දමින් පාවිච්ච් කිරීමයි. එදා මිල අධික නිසා වෛද්‍ය උපදෙස් මත ලබාදෙන ඖෂධ ජනතාව පාවිච්චි කළේ නැහැ. කඩින් කඩ තමයි ඖෂධ භාවිතා කළේ. නමුත් අද එහෙම නැහැ. නියම පරිදි ඖෂධ භාවිතා කරනවා. එම නිසා උසස් ගුණයෙන් යුත් ඖෂධ වෙළෙදාම ලක්ෂයේ සිට මිලියනය දක්වා වැඩි වෙලා තිබෙනවා. එකෙන් පේනවා සාමාන්‍ය ජනතාවටත් ගුණාත්මකභවින් ඉහළ ඖෂධ ලබාගැනීමට හැකියාව ලැබී තිබෙන බව. දෙවන අදියරේ දී පිළිකා ඖෂධ ඇතුලු තවත් ඖෂධ 25 ක මිල නියාමනය කළා. ඒ අනුව ඖෂධ 73 ක මිල නියමාණුකූල කළා. දැන් අපි අද කථා කරන්නේ තවත් ඖෂධ 27 ක මිල නියමානුකූල කර, නියමාණුකූල කළ ඖෂධ ප්‍රමාණය 100 දක්වා ඉදිරියට ගෙනයන්න. ඒ කියන්නේ ඖෂධ නාමයෙන් 100 ක්. එතකොට 5000 පමණ වූ වෙළෙදනාමයෙන් ඖෂධ මිල අඩු වෙනවා. එකම ඖෂධය විශාල වෙළෙද නාම ගණනාවකින් ලියාපදිංචි කරලා තිබෙනවා. මේ වන විට ඖෂධ නියාමන අධිකාරිය තුල ඉස්සර වගේ එකම ඖෂධය විශාල වෙළෙද නාම ගණනාවකින් ලියාපදිංචි වීමට ඉඩ දෙන්නෙත් නැහැ. එයත් සීමා කර තිබෙනවා. මේ ආකාරයේ සිමාවල් තුල ගුණාත්මකභවින් ඉහළ ඖෂධ ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙල තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. මේ වසරේ ඉදිරි කාල පරිච්ඡේදයේ දී තවත් ඖෂධ 27 ක මිල නියමාණුකූල කරමින් එහි වාසිය ජනතාවට ලබාදෙනවා” යැයි ඔහු කියා සිටි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය, රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූම් මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ වෛද්‍ය එම්.වයි.කේ විල්ප්‍රඩ් මහතා ඇතුලු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

     

    Latest News