ඉන්දියාවේ ළිඳක සිරවූ දරුවා මියගොස් ඇති බවට තහවුරු වෙයි

ඔක් 29, 2019

    ඉන්දියාවේ ළිඳක් තුළට වැටී සිරවී සිටි දරුවා මියගොස් ඇති බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කරයි. ඔහුගේ සිරුර ගොඩට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමුකර ඇතැයි, ඉන්දිය බලධාරීන් ප්‍රකාශ කරයි. 

    සුජිත් විල්සන් නමැති දෙහැවිරිද දරුවාගේ සිරුර ඉන්දියාවේ වේලාවෙන් අද අලුයම 4.00ට පමණ ගොඩ ගැනීමට හැකිවූ බව සහන සේවකයන් ප්‍රකාශ කරයි. ඒ වන විටත් සිරුර නරක් වෙමින් පැවති බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.  දරුවා වැටී සිටින කුහරය තුළින් නැගෙන දුර්ඝන්ධය හේතුවෙන් ඔහු මියගිය බවට තහවුරු කරගත් බවයි බලධාරීන් පවසන්නේ. සුජිත් විල්සන් නමැති දෙහැවිරදි දරුවා මෙම කුහරය තුළට වැටුනේ පසුගිය සඳුදා සෙල්ලම් කරමින් සිටියදී. පසුගිය ඉරිදා වනතෙක් දරුවා හුස්ම ගන්නා බවට බලධාරීන්ට තහවුරු කර ගැනීමට හැකිවූ නමුත් ඉන් අනතුරුව දරුවා ගැන නිසි තොරතුරක් ලබා ගැනීමට ඔවුන් අපොහොසත් විය.

    ඔහු බේරා ගැනීමට හැකි උපරිම උත්සහ ගත් බවයි, බලධාරීන් පවසන්නේ. දරුවා මියගිය බවට නිගමනය කෙරෙන අවස්ථාව වන විට ඔහු පැය 72කට වැඩි කාලයක් කුහරය තුළ සිරවී සිටියේය. දරුවාට ඔක්සිජන් සැපයුම ලබාදී තිබුණත්, ආහාර හෝ ජලය ලබාදීමට කිසිදු හැකියාවක් ලැබුනේ නැත. ඒ හේතුවෙන් දරුවා අවසන් පැය කිහිපය තුළ ඉතා දුර්වලට සිටින්නට ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    Last modified on අඟහරුවාදා, 29 ඔක්තෝබර් 2019 08:01

    Latest News