රාහුල් ගාන්ධි, පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වේ

ජූලි 03, 2019

    රාහුල් ගාන්ධි, ඉන්දියාවේ කොංග්‍රස් පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

    පසුගියදා පැවති ලෝක් සභා මැතිවරණයේදී පක්‍ෂය ලැබූ අන්ත පරාජය පිලිබඳ වගකීම බරගන්නා බව, ඔහු අද නිකුත් කළ ලිපියක සඳහන්වේ. ඉන්දිරා ගාන්ධි, රජීව් ගාන්ධි ඇතුළු ඉන්දීය දේශපාලනයේ ප්‍රබලයින් රැසකගේ පවුලට අයත් රාහුල් ගාන්ධි, මෙවර මැතිවරණයේදී කොංග්‍රස් පක්‍ෂයට නායකත්වය ලබාදුන්නේය. එහෙත්, පක්‍ෂයට දිනාගත හැකිවූයේ මැතිවරණය පැවති ආසන 542න්, 52ක් පමණි. ගාන්ධි තරග වැඳුණු “අමිති“ ආසනයෙන් ද ඔහු පරාජය විය.

    ඒ අනුව නායකත්වයෙන් ඉවත්වන බව ඔහු, මැයි 25 වැනිදා තීරණය කළද, තවදුරටත් එහි රැඳී සිටියේ පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බලවත් ඉල්ලීම මතය. එහෙත් ඔහු අද නිකුත් කළ පිටු 4කින් යුත් ලිපියේ දැක්වෙන්නේ නව නායකයෙකු තෝරා ගැනීම සඳහා පක්‍ෂයට ඉඩ සලසන බවයි. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති මෝතිලාල් වෝරා, අන්තර්වාර සභාපති ධූරයට පත් කෙරුණු බව, ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on බදාදා, 03 ජූලි 2019 18:45

    Latest News