උ.කොරියා - අමෙරිකා නායකයින් අතර ඓතිහාසික හමුවක්

ජූනි 30, 2019

    උතුරු කොරියාවට පය තැබූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් අද පත්විය.

    කොරියානු දේශසීමා යුද මුක්ත කලාපයේ දී අමෙරිකානු හා උතුරු කොරියානු නායකයන් ඓතිහාසික හමුවකට අද එක්වූහ. දෙරටේ නායකයන් අතර සිදුවූ තෙවැනි හමුව මෙයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාවේ චාරිකාවකට එක්වූයේ ජී-20 සමුළුවට සහභාගි වීමෙන් අනතුරුවයි. එහිදී ඔහු කියා සිටියේ, දේශසීමා ආසන්නයේ දී උතුරු කොරියානු නායකයා හමුවීමට අපේක්‍ෂා කරන බවයි. ඒ අරමුණින් අමෙරිකානු ජනාධිපතිවරයා උතුරු-දකුණු කොරියානු යුද මුක්ත කලාපයට අද පැමිණියේය. එම ආරාධනය පිළිගනිමින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඓතිහාසික හමුවකට එක්වූහ.

    එහිදී දෙරටේ නායකයන් අතට අත දී සුහදව එකිනෙකා පිළිගත්තේය. අනතුරුව, උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, සිය දේශසීමාවට පැමිණෙන ලෙස අමෙරිකානු ජනාධිපතිවරයාට ආරාධනා කළේය. ඒ අනුව, ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියානු භූමියට පය තැබුවේ, කොරියානු අර්ධද්වීපයට නැවුම් බලාපොරොත්තුවක් එක් කරමින්. නායකයන් දෙදෙනා අතර ඉදිරි සාකච්ජා සඳහා මෙය සුබවාදි පණිවුඩයක් බව, විචාරකයන් පෙන්වා දෙයි. මෙම අවස්ථාවට දකුණු කොරියානු ජනාධිපති මූන්ජේ ඉන් ද එක්ව සිටියහ.

    Latest News