අගමැති ධූරයෙන් තමා ඉවත්වන බව ඉතාලි අගමැති අනතුරු අඟවයි

ජූනි 04, 2019

    පාලක සන්ධානයට අයත් ප්‍රධාන පක්‍ෂ දෙක අතර එකඟතාවක් ඇති නොවන්නේ නම් තමා ධූරයෙන් ඉවත්වන බව, ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පෙ කොන්තෙ පවසයි.

    ඔහු ඉකුත් වසරේ අගමැති ධූරයට පත් වූයේ “ලීග්“ සහ “ෆයිස්ටාර් මූමන්ට්“ යන පක්‍ෂ දෙක අතර ගොඩනැඟුණු සන්ධානය මගින්. මාර්තු මස පැවති මහ මැතිවරණයේදී පැහැදිලි බහුතරයක් ලබා ගැනීමට කිසිදු පක්‍ෂයක් සමත් නොවීම නිසා ප්‍රධාන පක්‍ෂ දෙක එක්වී විද්වතෙකු වූ මහාචාර්ය ගුසෙප්පෙ කොන්තෙ අගමැති ධූරයට පත්කර ගනු ලැබීය.

    වසරක් ඉක්මයාමත් සමඟ විරසකය මතු වූයේ, යුරෝපා සංගමය හා එක්ව සකස් කෙරෙන අය-වැය යෝජනාවලිය පිළිබඳවයි. උග්‍ර ණය අර්බුදයක පැටලී සිටින ඉතාලියේ විරැකියාව ද උග්‍ර මට්ටමක පවතී. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසු අදහස් දක්වමින් ප්‍රධාන පක්‍ෂ දෙකේ නායකයින් කියා සිටියේ, රජය ඉදිරියට පවත්වාගෙන යාමට කැපවන බවයි.

    Latest News