ඉන්දිය මැතිවරණය: ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළට - රාහුල් ගාන්ධිට ජිවිත තර්ජන

අප්‍රේ 11, 2019

    ලොව විශාලතම මහ මැතිවරණය අද ඉන්දියාවේ දී ආරම්භ විය.

    ඇතැම් ප්‍රදේශවල ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවූ අතර, දෙදෙනෙකු මියගොස් තිබේ. මහ මැතිවරණය අදියර 7ක් යටතේ පැවැත්වේ. අද පළමු අදියරේ දී ප්‍රාන්ත හා ඒකාබද්ධ ප්‍රදේශ 20ක ඡන්ද විමසීම පැවැත්විණ. අද දිනයේ පමණක් ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා සිටි ඡන්දදායක සංඛ්‍යාව කෝටි 10 ඉක්මවා තිබේ. පාර්ලිමේන්තුවේ ආසන 543ක් සඳහා ඡන්ද විමසීම් සිදු කෙරේ. සමස්ත ඡන්දදායක සංඛ්‍යාව කෝටි 90 ඉක්මවයි. අවසන් අදියරේ ඡන්ද විමසීම මැයි 19 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඡන්දය ගණන් කිරීම ආරම්භ වන්නේ මැයි 23 දිනයි.

    අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පැහැදිලි ජයක් අත්කර ගනු ඇතැයි, අනාවැකි පළ වී තිබේ. භාරතීය ජනතා පක්‍ෂය තනිව තරඟ වදින ආසන සංඛ්‍යාව 437ක්. අගමැති මෝදිගේ ජනප්‍රියත්වය තවමත් ඉහළ මට්ටමක පවතින බවයි, භාරතීය ජනතා පක්‍ෂය ප්‍රකාශ කරන්නේ. එහෙත්, 2014 මෙන් අතිමහත් බහුතර බලයක් සහිත ජයග්‍රහණයක් ලබාගැනීමට මෝදි සමත් නොවනු ඇතැයි, ඇතැම් ජනමත විමසුම් පෙන්නම් කරයි. ආර්ථිකයට හා රැකියා සම්බන්ධයෙන් වූ පොරොන්දු ඉටු නොකිරීම ඇතුළු කරුණු රැසක් ඊට බලපාන බව, විචාරකයින් පවසයි.

    ප්‍රධාන පක්‍ෂය වන කොංග්‍රසය, තනිව ආසන 422ක් සඳහා තරග වඳී. එහි නායක රාහුල් ගාන්ධි තරග කරන්නේ, අමෙති අසුනටයි. එම ප්‍රදේශයේ ඡන්ද ප්‍රචාරක කටයුතුවලට රාහුල් ගාන්ධිය සිය සොයුරිය වන ප්‍රියංකා ගාන්ධි සමඟ සහභාගි වූහ.

    මේ අතර, රාහුල් ගාන්ධි ඊයේ මාධ්‍යවේදීන්ට ප්‍රකාශයක් ලබාදෙන අවස්ථාවේ දී ඔහුගේ හිසට ලේසර් කිරණයක් එල්ලවීම සම්බන්ධයෙන් කොංග්‍රසය පැමිණිලි කර තිබේ. ඔහුගේ ආරක්‍ෂාව තර කරන ලෙස, කොංග්‍රස් පක්‍ෂය රජයෙන් ඉල්ලා සිටී. මෙය ස්නයිපර් ගිනි අවියක කිරණයක් විය නොහැකි දැයි කොංග්‍රසය ප්‍රශ්න කරයි.

    අද දිනයේ ප්‍රථම අදියරේදීම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම බරපතල සිද්ධියක් සේ සැලකේ. ආන්ද්‍රා ප්‍රදේශ් හා අරුනාචල් ප්‍රදේශ් ඇතුළු ඡන්ද බල ප්‍රදේශ කිහිපයකින් ගැටුම් වාර්තා විය. ආන්ද්‍රා ප්‍රදේශ් හි පක්‍ෂ දෙකක ආධාරකරුවන් අතර ඡන්ද පොළකදී ගැටුම් හටගත් ආකාරය රූපවාහිනී කැමරාවලට හසුවී තිබේ. එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා ආරක්‍ෂක විධිවිධාන තර කරන බව ඉන්දීය බලධාරීන් පවසයි.

    Last modified on සිකුරාදා, 12 අප්‍රේල් 2019 09:42

    Latest News