කේබල් කාරයේ සිරවුනු පාසැල් දරුවන්ගේ දිවි බේරයි

අගෝ 23, 2023

    පකිස්ථානයේ වයඹ දිග ප්‍රදේශයේ මිටියාවතක මීටර සිය ගණනක් ඉහළින් එල්ලී තිබූ කේබල් කාර් රථයක පැය ගණනාවක් සිරවී සිටි පුද්ගලයින් අටදෙනාම මේ වනවිට බේරාගෙන තිබෙනවා.


    හමුදා හෙලිකොප්ටරයක් මගින් හෘදයාබාධයක් සහිතව සිටි ​​​​එක් දරුවෙකු බේරා ගත් අතර, සෙසු හත් දෙනා ඊයේ රාත්‍රිය පුරා සිදු කළ අතිශය දුෂ්කර මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව බේරා ගැනුනා.

    පිරිස පාසලට යමින් සිටියදී කේබල් කාර් රථයේ එක් කේබලයක් කඩා වැටී තිබෙනවා.

    එය පොළවෙන් මීටර් 274ක් (අඩි 900ක්) ඉහළින් සහ අධික සුළං තත්ත්වය හමුවේ තනි කේබලයකින් එල්ලී තිබෙනවා.

    පකිස්තානයේ භාරකාර අගමැති අන්වාර් උල් හක් ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ සියලු දෙනාට ස්තූති කර තිබෙනවා.

    මෙම සිදුවීම ඊයේ පස්වරු 2.00 ට පමණ කයිබර් පක්තුන්ක්වා පළාතේ බට්ටග්‍රාම් නගරය ආසන්නයේ සිදුව තිබෙනවා.

    වයස අවුරුදු 10 ත් 16 ත් අතර වයස්වල පසුවන ළමුන් හය දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු ද කේබල් කාරයේ කොටු වී තිබෙනවා.

    "ඩොලි" ලෙස හඳුන්වනු ලබන මෙම කේබල් කාරය නිම්නය හරහා යාමට ජනප්‍රිය සහ ලාභ ප්‍රවාහන මාධ්‍යයකි - කඳුකර භූමි හරහා පැය දෙකක ගමනක් මිනිත්තු හතරක් තුළ යා හැකිය.

    පාකිස්තාන ගුවන් හමුදාව, කොමාන්ඩෝ භටයන් හා යුධ හමුදාව ඒකාබද්ධව මෙම ගලවා ගැනීමේ මෙහෙයුම සිදු කරන ලදී.

    Latest News