පීලි පැන්න ‍දුම්රියේ මරණ 30ක්

අගෝ 07, 2023

    දකුණුදිග පාකිස්ථානයේ දුම්රියක් පීලි පැනීමෙන් 30 දෙනෙකු මියගොස් තිබෙනවා. සිය දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

    කරච්චි නගරයේ සිට රාවල්පින්ඩි දක්වා ධාවනය වූ හසාරා ශීග්‍රගාමී දුම්රියේ මැදිරි කිහිපයක් මෙසේ පීලි පැනීමෙන් අනතුර සිදුව තිබෙනවා.

    ඒ, ඊයේ පස්වරුවේ නවබ්ෂාහ් නගරයේ සර්හාරී දුම්රිය ස්ථානය ආසන්නයේ දී. දුම්රියේ මගීන් දහසකට ආසන්න පිරිසක් ගමන් කරමින් සිට ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරනවා.

    ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.

    නිසි නඩත්තුවක් නොකිරීම නිසා පාකිස්ථානයේ දුම්රිය මැදිරි පීලි පැනීම නිතර සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    2021 වසරේ දී දුම්රිය පීලි පැනීම් හේතුවෙන් පාකිස්ථානයේ 40 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.

    Latest News