කළු මුහුදේ ධාන්‍ය ගිවිසුම අලුත් වෙයි

මැයි 18, 2023

    කළු මුහුදු හරහා ධාන්‍ය ප්‍රවාහනයට යුක්‍රේනයට අවසර ලබා දෙමින් ඇති කරගත් ගිවිසුම තවත් මාස දෙකකින් දීර්ඝ කිරීමට තුර්කිය තීරණය කර තිබෙනවා.

    එරට ජනාධිපති රෙසප් තායිප් එර්ඩොගන් සඳහන් කර ඇත්තේ, තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැති ගෝලීය ආහාර අර්බුදය සමනය කිරීම මෙහි අරමුණ බවයි.

    මෙම ගිවිසුම ඇතිකර ගැනුණේ, මීට වසරකට පෙරයි. ඒ, රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය ආරම්භ කිරීමත් සමග එරට ධාන්‍ය අපනයනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් කඩාවැටීම හේතුවෙන්.

    මෙතෙක් පැවති ගිවිසුම අදින් අවසන් වීමට තිබූ බැවින් තුර්කි ජනාධිපතිවරයා ගිවිසුම දීර්ඝ කිරීම පිළිබඳව ඊයේ නිවේදනය කළා.

    රුසියා-යුක්‍රේන යුද්ධයේ අවසානයක් බලාපොරොත්තු වන අතර, ඊට පළමු පියවර ලෙස සටන් විරාමයකට එකඟ විය යුතු බව තුර්කි ජනාධිපතිවරයා කියා සිටිනවා.

    මීට පෙර යුක්‍රේනය වෙනත් මාර්ග ඔස්සේ යුරෝපයට ධාන්‍ය අපනයනය සිදු කළා. කළු මුහුද හරහා ධාන්‍ය ප්‍රවාහනයට යුක්‍රේනයට අවසර හිමි වූයේ, රුසියාව සමඟ එක්ව එතෙක් සිදුකෙරුණු ප්‍රවාහන ක්‍රියාවලිය අඩාල වීමත් සමගයි.

    මේ සම්බන්ධ ගිවිසුම දීර්ඝ කිරීමට රුසියා-යුක්‍රේන නියෝජිතයන් මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දුන් සහයට තුර්කි ජනාධිපතිවරයා කෘතවේදිත්වය පළ කර තිබෙනවා.

    Latest News