III වැනි චාර්ල්ස් රජුගේ රාජාභිෂේකය අද

මැයි 06, 2023

    තුන් වැනි චාර්ල්ස් රජුගේ රාජාභිෂේකය අදට යෙදී තිබෙනවා.

    සංස්කෘතික සහ චාරිත්‍රානුකූල අංග රැසක් සහිත මෙම රාජාභිෂේක මංගල්‍යයේ දී චාර්ල්ස් රජු "වෙස්ට් මිනිස්ටර් ඇබේ" දේවස්ථානයේ දී කිරුළු පැළදීමට නියමිතයි.

    රාජාභිෂේක මංගල්‍යය, චාර්ල්ස් රජු සහ කැමිලා බිසව බකින්හැම් මාළිගාවේ සිට "වෙස්ට් මිනිස්ටර් ඇබේ" දේවස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව ආරම්භ කිරීමට නියමිතයි. රාජකීය දෙපළ, රාජකීය අශ්වයන් 6 දෙනෙකුගෙන් යුත් ඓතිහාසික අශ්ව රියකින් එහි ළඟා වනු ඇති. මෙම රාජාභිෂේක මංගල්‍යය එරට පැවැත්වෙන්නේ, දෙවැනි එළිසබත් රැජිනගේ රාජාභිෂේක මංගල්‍යයෙන් වසර 70 කට පසුවයි. චාර්ල්ස් රජු වෙත සිය ආචාරය දැක්වීම සඳහා අශ්ව රිය කැටුව යන ප්‍රධාන පෙළපාළිය ගමන් ගන්නා මාර්ගය දෙපස දහස් ගණනින් ජනතාව රැස්ව සිටින බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රාජාභිෂේක මංගල්‍ය වෙනුවෙන් මධ්‍යම ලන්ඩනයේ දැවැන්ත ආරක්‍ෂක මෙහෙයුමක් සිදු කර ඇති අතර, රාජ්‍ය නායකයින් සියයක පමණ පිරිසක් මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.

    අමෙරිකානු ජනාධිපති ආර්යා ජිල්ඩ් බයිඩ්න් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්, පකිස්තාන අග්‍රාමාත්‍ය ෂභාස් ෂරීෆ් ඇතුළු නායකයින් මෙන්ම, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද තුන් වැනි චාර්ල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වන රාජ්‍ය නායකයින් අතර වනවා. දැනට එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේ‍වයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය හරීන් ද සිල්වාට ද, චාර්ල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා ආරාධනා කර තිබෙනවා.‍ කොවිඩ් 19 වසංගත සමයේ කළ සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කමකින් ඔහු පිඳුම් ලැබුවා. පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්වෙන රාජාභිෂේක මංගල්‍යයට විශේෂ අමුත්තන් 2,300 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ දී චාර්ල්ස් රජු එක්සත් රාජධානියේ සහ තවත් රාජ්‍ය 14 ක රජු බවට පත් වුණා. ඒ, ඔහුගේ මව දෙවැනි එළිස‍බත් රැජිනගේ අභාවයෙන් පසුවයි. 1066 වසරේ සිට "වෙස්ට් මිනිස්ටර් ඇබේ" දේවස්ථානයේ දී පැවැත්වෙන 40 වැනි රාජාභිෂේක සැමරුම මෙයයි. ‍රාජාභිෂේක මංගල්‍ය සඳහා මාස ගණනාවක් අදාළ සැලසුම් සහ පුහුණුවීම් සිදු කර තිබෙනවා.

    රාජාභිෂේකයට පෙර චාර්ල්ස් රජු සහ බ්‍රිතාන්‍ය රාජකීයන් රාජාභිෂේකයට පැමිණි විශේෂ අමුත්තන් මුණ ගැසී තිබෙනවා. මඟ දෙපස රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වන ජනතාව හමුවීමට චාර්ල්ස් රජුගේ පැමිණීම පිළිබඳව විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මෙය ඉතාමත් ඓතිහාසික සිදු වීමක් ලෙසටයි. තුන් වැනි චාර්ල්ස් රජු රාජාභිෂේක මංගල්‍යයට පෙර පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකයින් හමුවී ඔවුන් සමග සුහද සාකච්ඡාවක නිරත වූ බවද, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

    Latest News