නව අගමැති සුනාක් සහ විපක්‍ෂය අතර උණුසුම් වාද-විවාද

ඔක් 26, 2022

    බ්‍රිතාන්‍ය නව අගමැති රිෂී සුනාක් අද ප්‍රථම වතාවට එරට පාර් ලිමේන්තුවට මුහුණ දුන්නා.

    අගමැති සුනාක් සහ විපක්ෂය අතර , උණුසුම් වාද විවාද හටගත් බවයි, වාර්තා වන්නේ. රිෂී සුනක් එක්සත් රාජධානියේ අගමැති ධුරයට පත් වූ පළමු දිනයේම නව කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබෙනවා. ඇතැම් කැබිනට් අමාත්‍ය ධුරවල සිටින මන්ත්‍රීවරුන් නොවෙනස්ව පවතින අතර, නව කැබිනට් අමාත්‍ය ධුර පත්වීම් රැසක් ද සිදු කෙරුණා. නව කැබිනට් මණ්ඩලයේ පත්වීම් අතරින් ඩොමිනික් රාබ්, අධිකරණ ලේකම් සහ නියෝජ්‍ය අගමැති ලෙස පත් කර තිබෙනවා.

    ඔහු මීට පෙර බොරිස් ජොන්සන් හිටපු අගමැති යටතේ අධිකරණ ලේකම්වරයා ලෙස ක්‍රියා කළා. එක්සත් රාජධානියේ මුදල් අමාත්‍යවරයා ලෙස ජෙරමි හන්ට් එලෙසම සිය ධුරයේ කටයුතු කරනවා. සුවෙල්ලා‍ බ්‍රෙවර්මන් ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස නැවතත් පත් කෙරුණා. ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයේ ක්‍රියා කරමින් සිටියදී ලිස් ට්‍රස් ගෙන ගිය ආර්ථික වැඩපිළිවෙළ ‍විවේචනය කරමින් ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වූවා. නව අගමැති රිෂි සුනාක් විසින් ඇයව එම ධුරයට නැවතත් පත් කරනු ලැබ තිබෙනවා.

    ජේම්ස් ක්ලේවර්ලි විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්, බෙන්වොලස් ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් සිය ධුරයේ එලෙසම කටයුතු කරනවා. රිෂි සුනාක් සමග අගමැති ධුරයේ සටනට පිවිස, එම සටනින් ඉවත් වූ පෙනී මෝඩුවන් මහජන මන්ත්‍රී මණ්ඩලයේ නායකයා ලෙස යළි පත් කෙරුණා. ගිලන් කීගන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, තෙරේස් කො‍ෆී පරිසර ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් පත් කර තිබෙනවා. මෙසේ ගත් විට රිෂී සුනාක් හැරුණු විට ඔහු විසින් පත් කරන ලද කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 30 ක්.

    ලිස් ට්‍රස් අගමැතිනිය යටතේ පාරිසරික ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති පදවිය දැරූ රනිල් ජයවර්ධන මහතා ඊයේ සිය ඉල්ලා අස්වීම නිවේදනය කළා. ඒ, නව ඇමති මණ්ඩලයේ පත්වීම් සඳහා ඉඩ සලසාලමින්. කෙසේ වෙතත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මන්ත්‍රී රනිල් ජයවර්ධන, අගමැති රිෂී සුනාක්ගේ ඇමති මණ්ඩලයට ඇතුළත් කරගෙන නොමැති බවයි, පාර් ලිමේන්තු වාර්තා සඳහන් කරන්නේ.

    අද දිනයේ පැවතියේ බ්‍රිතාන්‍ය පාර් ලිමේන්තුවේ අගමැතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ වාරයයි. ඒ අනුව, නව අගමැති රිෂී සුනාක් සෘජුවම විපක්ෂ මන්ත්‍රීවරුන්ට මුහුණ දුන්නා. අගමැතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රීති ගෝෂා මධ්‍යයේ. කෙසේ වෙතත් කම්කරු පක්ෂ නායක කේයර් ස්ටාමර් ප්‍රශ්න ඇසීමේ වාරයේදී අගමැතිවරයාට දැඩි පීඩනයක් එල්ල කිරීමට උත්සාහ කළා. අගමැතිවරයාට ජනවරමක් නොමැති බව කී ඔහු මහමැතිවරණයක් අවශ්‍ය බව කියා සිටියා. එහෙත්, අගමැති රිෂී සුනාක් කම්කරු පක්ෂයේ ප්‍රශ්නවලට සෘජුව පිළිතුරු දෙමින් කියා සිටියේ, කම්කරු පක්ෂ නායකයා උතුරු ලන්ඩනයේ පමණක් රැඳී සිටිමින් ජනතා ප්‍රශ්න ගැන කථාකරන අතර, ඔහු රට පුරා ගොස් නිසි අවබෝධයක් ලබා ජනතාව‍ ගැන කථා කළ යුතු බවයි.

    Latest News