ඉහළ යන ඉන්ධන මිලට රටවල් 90 ක විරෝධතා... BBC

ඉහළ යන ඉන්ධන මිලට රටවල් 90 ක විරෝධතා...

ඔක් 19, 2022

    ඉහළ යන ඉන්ධන මිල හේතුවෙන් රටවල් 90 ක සිටින පුරවැසියන් විරෝධතාවල යෙදී සිටින බව, BBC මාධ්‍ය ජාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

    අධික ලෙස ඉහළ යන ජීවන වියදමට සමගාමීව වාර්තා ගත ලෙස ඉහළ යන ඉන්ධන සහ බලශක්ති මිල දරාගැනීමට නොහැකිව රටවල් 90 ක සිරින ජනතාව වීදිබැස උද්ඝෝෂණවල නිරත වන බවටයි, එම වාර්තාවේ සඳහන් වී තිබෙන්නේ. BBC මාධ්‍ය ජාලයට සම්බන්ධ මාධ්‍යවේදීන් හා වාර්තාකරුවන්ගෙන් සමන්විතවයි, මෙම වාර්තාව සකසා තිබෙන්නේ.

    2021 ජනවාරි මාසයේ සිට ඉන්ධන සම්බන්ධයෙන් වාර්තා වූ සියලුම පෙළපාලි BBC මාධ්‍ය ජාලය විසින් සිතියම් ගත කර ඇති අතර, මේ වසරේ විරෝධතාවල විශාල වැඩි වීමක් එම වාර්තා මගින් අනාවරණය වී තිබෙනවා. ගමනා ගමන  භාණ්ඩ ප්‍රවාහන, විදුලිය වැනි අංශ කෙරෙහි ඉහළ යන ඉන්ධන මිල බලපා තිබෙනවා. ඉහළ යන ඉන්ධන මිලට එරෙහිව උද්ඝෝෂණ රැසක් වාර්තා වී ඇති අතර, ලොව පුරා උද්ඝෝෂකයින්ගේ ඉල්ලීම වී ඇත්තේ, ඉන්ධන වඩාත් දැරිය හැකි මිලකට ලබා දෙන ලෙස රජයට බලකරමින්.  

    “ඇක්ලෙඩ්” නමැති දත්ත සමීක්ෂණ ආයතනය විසින් රැස් කරන ලද ලොව පුරා පෙළපාලි පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනාවරණය වී ඇත්තේ, මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ රටවල් 90 කට වැඩි ප්‍රමාණයක සිටින ජනතාව, ඉහළ යන ඉන්ධන මිලට එරෙහිව වීදි බැස උද්ඝෝෂණවල නිරත වී ඇති බවයි. මෙම රටවල් 90 න් තුනෙන් එකක් පමණ ගිය වසරේදී ඉන්ධන පිළිබඳව කිසිදු උද්ඝෝණයක් ‍වාර්තා නොවීම විශේෂත්වයක්.

    ඇන්ටාක්ටිකාව හැරුණු විට පසුගිය මාස 9 තුළ සෑම මහද්වීපයකටම අයත් රටවල් ඉහළ යන ඉන්ධන මිලට විරෝධතා  පවත්වා තිබෙනවා. BBC වාර්තාවට අනුව ඉහළ යන ඉන්ධන මිලට සෘජුව බලපා ඇත්තේ, යුක්‍රේන - රුසියානු යුද්ධය හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමයි. කොවිඩ් වසංගතය ආරම්භයේදී බොරතෙල් මිල අඩු වූයේ, බොහෝ ව්‍යාපාර තාවකාලිකව වැසී යාමත් සමග බලශක්ති ඉල්ලුම කඩා වැටීම හේතුවෙන්.

    කෙසේ වෙතත්, නව සාමාන්‍යකරණයට  පැමිණීමත් සමග ඉහළ යන බලශක්ති ඉල්ලුමට අදාළ සැපයුම ලබාදීමට නොහැකි වීම මෙම ඉන්ධන අර්බුදයේ තවත් සාධකයක් බව, එම වාර්තාවේ සඳහන්. අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂව එක්සත් ජනපදයේ ඩොලරය සර්වකාලීන ඉහළ මට්ටමක පැවතීම ද මෙම ඉන්ධන අර්බුදයට බලපා තිබෙනවා. ඇතැම් රටවල් ඉන්ධන අර්බුදය හේතුවෙන් දේශපාලන අස්ථාවර භාවයක් හට ගෙන ඇති බව, එම වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා. ලොව පුරා ආණ්ඩු තම රටවල ආර්ථික අර්බුදවලට විසඳුම් සෙවීමට පොරකද්දී විරෝධතා දිගටම පවතිනවා.

    ඉන්ධන මිල සම්බන්ධයෙන් පැවති විරෝධතා සම්බන්ධයෙන් පසුගිය මාස 9 තුළ පුද්ගලයින් 80 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව, බී බී සී පරීක්ෂණයක් මගින් සොයා ගෙන තිබෙනවා. එයට ආර්ජන්ටිනාව, ඉක්වදෝරය, ගිනියාව, හයිටි රාජ්‍යය, කසස්තාන‍ය, පැනමාව, පේරු රාජ්‍ය, දකුණු අප්‍රිකාව මෙන්ම, සියරා ලියෝන් යන රටවල පුද්ගලයින් ඇතුලත් වනවා.

    Latest News