නැන්සි පෙලෝසි තායිපේ අගනුවරය පැමිණෙයි

අගෝ 03, 2022

    ‍‍අමෙරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායිකා නැන්සි පෙලෝසි, තායිවානයේ, තායිපේ අගනුවර වෙත පැමිණියා.  සිය ආසියානු චාරිකාව අතරතුරයි ඇය මෙලෙස තායිවානය වෙත පැමිණියේ.

    මේ හේතුවෙන්, චීනය සහ අමෙරිකාව අතර අර්බුදකාරී තත්වය යළි උත්සන්න වී තිබෙනවා.

    තායිවානය, චීනය ආසන්නයේ  පිහිටි කුඩා දූපත් රාජ්‍යයක්. අතීතයේ තායිවානය, චීනයට මුළුමනින්ම අයත්ව  පැවතියත්, වර්තමානයේ එය ස්වාධීන පරිපාලනයක් පවත්වා‍ ගෙන යනවා. කෙසේ වුවද, තායිවානය තවමත්, තම රාජ්‍යයේම කොටසක් ලෙසයි, චීනය සලකනු ලබන්නේ. මේ නිසා තායිවානය, ස්වාධීන ලෙස විදේශ සබඳතා පැවැත්වීම චීනයේ දැඩි විරෝධයට ලක් වූ කරුණක්.

    ජනාධිපති ජෝ බයිඩන් තායිවානයට ඍජුව සහය පළ කිරීමේ ස්වභාවයක් පෙන්නුම් කරනවා. මේ නිසා ‍බයිඩන්නියෝජනය කරන ඩිමොක්‍රටික් පක්ෂයේ අසූ දෙහැවිරිදි නැන්සි පැලෝසි, තායිවානයේ චාරිකා කිරීම විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට ලක්ව තිබෙනවා

    ඇය, විශේෂ හමුදා ගුවන් යානයකින් තායිපේ අගනුවර වෙත  පැමිණියා.

    ගත වූ වසර 25 ඇතුළත තායිවානයට පැමිණි ඉහළම අමෙරිකානු දේශපාලනඥයා‍  ලෙසයි, පෙලෝසි සැලකෙන්නේ. ඇගේ පැමිණීම නිමිත්තෙන් තායිපේ අගනුවර ආරක්ෂාව ද දැඩි කර තිබුණා.

    පෙලෝසි සිය ආසියානු සංචාරය ආරම්භ කළේ, සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කෙරියාව සහ ජපානය බලා පිටත්ව යමින්. ඇය, තායිවානයට පැමිණෙන බව, පෙර දැනුම් දී තිබුණේ නැහැ. එය හදිසියේ ගත් තීරණයක් බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    මේ සම්බන්ධයෙන් චීන රජය, අමෙරිකාවට  දිගින් දිගටම අනතුරු ඇඟවීම කළේ, පෙලෝසි තායිවානයට පැමිණියහොත් බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති  බවටයි.

    කෙසේ වුවද, පෙලෝසිගේ තායිවාන සංචාරය මුල් කර ගනිමින් දෙරට අතර අර්බුදයක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව, අමෙරිකාව ප්‍රකාශ තිබෙනවා.  මේ වන විටත්, චීනය තායිවානයට ආසන්න මුහුදේ යුද අභ්‍යාස ආරම්භ කර ඇත්තේ පෙලෝසිගේ පැමිණීමට විරෝධය පළ කරමින්.

    Latest News