රුසියාව, යුක්‍රේනයේ කිව් අගනුවරට ආසන්නව....

මාර් 13, 2022

    රුසියාව විසින් මේ වනවිට යුක්‍රේනයේ කිව් අගනුවරට ආසන්න වී ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ඒ අනුව රුසියානු හමුදා විසින් අගනුවර සිට කිලෝ මීටර 25ක් දුරින් ස්ථාන ගතවී ඇති බවයි, වාර්තා වන්නේ. රුසියානු හමුදා විසින් කිව් අගනුවර ඉලක්ක කර ගනිමින් මේ වනවිට මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ තත්වය සමඟ යුක්‍රේනයේ නගර රැසක සයිරන් සංඥා නිකුත් වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    මේ අතර, නැගෙනහිර යුක්‍රේනයේ ලුහාන් ප්‍රදේශයේ 70%ක බලය රුසියානු හමුදා විසින් අත්පත් කර ගෙන ඇති බවට ප්‍රදේශයේ නගරාධිපති ‍ෆේස්බුක් සටහනක් තබමින් අනාවරණය කර තිබුණා. විදෙස් මාධ්‍ය හා ජාත්‍යන්තර නිරීක්‍ෂණ කණ්ඩායම් පවසන්නේ, ලුහාන්ස් ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් තුවාල ලබා මියගොස් ඇති බවයි. ඇතැම් පිරිස් ප්‍රදේශයෙන් පිටව යාමට නොහැකිව සිරවී සිටින බව ද ඔවුන් පෙන්වා දෙනවා. යුදමය තත්වය හේතුවෙන්, ප්‍රදේශයේ විදුලිබල සැපයුම ද සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති අතර, ආහාර, ජලය ඇතුළු සෞඛ්‍ය පහසුකම් හිඟව තිබෙනවා. මේ තත්වයත් සමඟ එම ප්‍රදේශ වෙත මානුෂීය ආධාර රැගෙන යාමේ බාධාවන් රැසක් මතුව ඇතැයි බලධාරීන් පවසනවා.

    Last modified on ඉරිදා, 13 මාර්තු 2022 10:59

    Latest News