යුක්‍රේනියානුවන්ට නගරවලින් ඉවත්වීමට සටන් විරාමයක්.....

මාර් 07, 2022

    යුක්‍රේනියානුවන්ට එරට ප්‍රධාන නගරවලින් ඉවත්වීම සඳහා යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    ඒ, රුසියානු හමුදාව විසින්. කෙසේ වුවද යුක්‍රේන ජනාධිපති ව්ලොදොමීර් සෙලෙන්ස්කි පවසන්නේ, සටන් විරාමය අශිලාචාර ප්‍රවේශයක් බවයි. කීව්හි ජනතාවට බෙරුස් රාජ්‍යයට ගමන් කිරීමටත් කාර්කිව්හි ජනතාවට රුසියාව වෙත පැමිණිමත් හැකිවන අන්දමේ කොරිඩොවක් නිර්මාණය කරන බව රුසියාව නිවේදනය කරනවා. මීට අමතරව මරියුපෝල් සහ සුමී යන නගර සඳහා ද ආරක්‍ෂිත කොරිඩෝව ක්‍රියාත්මක වනු ඇති.

    රුසියානු ජනාධිපතිවරයා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අතර අද දුරකතන සංවාදයක් පැවැත්වුණා. සටන් විරාමය ප්‍රකාශයට පත් කෙරුණේ, ඉන් අනතුරුවයි. මරියුපෝල් නගරයේ ජනතාවට ආහාර, ජලය සහ විදුලිය ඇතුළු උවමනා රැසක් සපුරා ගැනීමේ දැඩි දුෂ්කරතා පවතින බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වුවද යුක්‍රේනයේ නගර කිහිපයකට තවමත් රොකට් ප්‍රහාර එල්ල කෙරෙනවා. කිව් අගනුවර ඉලක්ක කර ගනිමින් රුසියාව දැවැන්ත රොකට් ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට ද යුක්‍රේන හමුදා සැක පළ කරනවා. කෙසේ වුවද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර ඇත්තේ, තම අරමුණු සාක්‍ෂාත් කරගන්නා තෙක් යුක්‍රේනයේ යුද මෙහෙයුම් නැවැත්වීමට කිසිදු අපේක්‍ෂාවක් නොමැති බවයි.

    රුසියානු-යුක්‍රේන ආක්‍රමණය ආරම්භ වී අදට දින 12ක්. කෙසේ වුවද යුක්‍රේනයේ කියෙව් අගනුවර මුළුමනින්ම අත්පත් කර ගැනීමට රුසියාව මෙතෙක් සමත් වී නැහැ. රුසියානු හමුදාවන්ට අවශ්‍ය ආහාර සහ ඉන්ධන වැනි ද්‍රව්‍ය බෙලරූස් රාජ්‍ය හරහා සැපයීමට ද රුසියානු බලධාරීන් පියවර ගෙන තිබෙනවා. යුක්‍රේනයේ ප්‍රබලතම වරාය නගරයක් ලෙස සැලකෙන ඔඩේසා නගරයට රුසියාව ප්‍රහාර එල්ල නොකරනු ඇති බවයි, අමෙරිකානු බුද්ධි අංශ පවසන්නේ. පෙබරවාරි 24 වැනිදා රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ මොහොතේ සිට මේ දක්වා මිසයිල 600ක් පමණ භාවිත කර තිබෙනවා. එමෙන්ම සමස්ත රුසියානු හමුදාවේ 95%ක්ම යුක්‍රේනයට ඇතුළු වී ඇති බව අමෙරිකානු බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙනවා.

    ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 350කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ, මිලියන 1.5කට අධික පිරිසක් සරණාගතයන් ලෙස අසල්වැසි රටවලට පලාගොස් ඇති පසුබිමකයි. යුක්‍රේනයට සහය පළ කරමින් විදෙස් ජාතිකයන් විසි දහසක් පමණ රුසියාවට විරුද්ධව සටන් බිමට පැමිනිමට අයදුම්කර ඇති බව, යුක්‍රේන රජය පවසනවා. ඔවුන් රටවල් 52කට අයත් වන අතර අදාළ රටවල් මේ දක්වා හෙළි කර නැහැ.

    මේ අතර යුක්‍රේනය හා රුසියාව අතර තෙවන වටයේ සාකච්ජා අද ආරම්භ වුණා. ඒ රටවල් රැසක් රුසියාවට එරෙහිව සම්බාධක පනවා සිටින මොහොතකයි. දකුණු කොරියාව ද රුසියාවේ මහ බැංකුව සමඟ පවත්නා සබඳතා අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. නවසීලන්තය ද සම්බාධක දැඩි කිරීමටයි ක්‍රියාකර ඇත්තේ. තනි රටක් ඉලක්ක කර නවසීලන්තය සම්බාධක පනවන ලද පළමු අවස්ථාව මෙයයි. ටික් ටොක් යෙදවුම රුසියාව තුළ සංක්‍රිය නොකිරීමට බලධාරීන් ක්‍රියාකර තිබෙනවා. කෙසේ වුවද ලොව රටවල් රුසියාවට පනවන සම්බාධක ප්‍රමානවත් නොවන බව, යුක්‍රේන ජනාධිපතිවරයාගේ අදහසයි. 

    Latest News