කොරෝනා මරණවලින් 10%ක් දකුණු ආසියාවෙන්

මැයි 28, 2021

    ගෝලීය කොරෝනා ආසාදිතයන්ගෙන් 18%ක් මේ වනවිට ඉන්දියාව හා අසල්වැසි දකුණු ආසියානු රටවලින් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    ලොව පුරා සිදුවන කොරෝනා මරණවලින් 10%ක් වාර්තා වන්නේ ද දකුණු ආසියාවෙන්. දැනට ගෝලීය කොරෝනා කේන්ද්‍රය බවට පත්ව ඇති දකුණු ආසියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 30 ඉක්මවයි.

    මෑත කාලීනව ඉන්දියාවෙන් වාර්තා වූ අඩුම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එනම්, එක්ලක්‍ෂ 86,000 ගතවූ පැය 24 තුළ සටහන් විය. පෙර දිනවලදී 4000 ඉක්මවා තිබූ මරණ සංඛ්‍යාව ද ඊයේ වාර්තා වූයේ 3660ක් වශයෙන්.

    කෙසේ වෙතත් ඉන්දියාවේ දකුණු දිග ප්‍රාන්තවල කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ගත වූ පැය 24 තුළ ඉන්දියානු ප්‍රාන්තයක වැඩිම දෛනික මරණ සංඛ්‍යාව එනම්, 475 වාර්තා වූයේ තමිල්නාඩු ප්‍රාන්තයෙන්.

    මේ වනවිට තමිල්නාඩු ප්‍රාන්ත රජය රෝගය පාලනය සඳහා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කර ඇති අතර, එන්නත්කරණය පුළුල් කිරීමට පියවර ගනිමින් සිටී.

    Latest News