මුම්බායි අගනුවර, කොරෝනා එන්නත්කරණය නතර කෙරේ

අප්‍රේ 30, 2021

    ඉන්දියාවේ මුම්බායි අගනුවර, කොරෝනා එන්නත්කරණ වැඩසටහන නතර කර තිබේ.

    ලොව එන්නත් විශාලතම නිපදවන්නා වන ඉන්දියාවට වෛරස ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මේ වනවිට එන්නත් හිඟයක් ද මතුව ඇත්තේ පවතින තත්වය තවදුරටත් බරපතල කරමින්.

    නවදිල්ලි අගනුවර කොරෝනා මරණ ආදාහනය සඳහා නව භූමි ප්‍රදේශ හඳුනා ගන්නා ලෙස එරට ප්‍රාන්ත රජය ප්‍රාදේශීය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. නගරයේ කොරෝනා මරණ ඉහළයාම ඊට හේතුවයි. ඉන්දියාවෙන් ඊයේ කොරෝනා ආසාදිතයින් තුන් ලක්‍ෂ 86,888ක් හඳුනා ගනු ලැබීය. එය එරටින් දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි.

    ඉන්දියාවේ දෛනික මරණ සංඛ්‍යාව ද වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති අතර, ඊයේ පමණක් කොරෝනා මරණ 3,645ක් වාර්තා විය. ඉන් මරණ 390ක් දිල්ලි නුවරින්. කොරෝනා වසංගතය ආරම්භ වු දින සිට දිල්ලි අගනුවරින් වාර්තා වූ කොරෝනා වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි. ඉන්දියාවේ කොරෝනා මරණ ඉහළ යාමට ප්‍රධාන හේතුවී ඇත්තේ, රෝගීන්ට නිසි රෝහල් පහසුකම් නොමැති වීම සහ අවශ්‍ය ඔක්සිජන් සැපයුම නිසි පරිදි නොලැබීමයි.

    එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ, මේ වනවිට අවශ්‍ය තරම් ඔක්සිජන් නිපදවන බවයි. එහෙත් ඉන්දියාවේ කොරෝනා මරණ සහ රෝගීන්ගේ සංඛ්‍යාව වාර්තා වන ප්‍රමාණයට වඩා ඉහළ අගයක් ගන්නා බව ඇතැම් මාධ්‍ය පෙන්වා දෙයි. ඉන්දීය රජය පසුගියදා තීරණය කළේ, වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට එන්නත් ලබාදීමටයි.

    Latest News