ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ 3647ක්

අප්‍රේ 29, 2021

    ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ 3647ක් සිදුව තිබේ.

    වැඩිම බලපෑමක් එල්ල වී ඇති නවදිල්ලි නුවර සෑම මිනිත්තු 4කට වරක් කොරෝනා රෝගියෙකු මියයන බව වාර්තාවේ. මේ අතර, ගෝලීය සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව, අද වනවිට 15ස්‍ කෝටිය ඉක්මවා තිබේ. ඊයේ පමණක් ගෝලීය වශයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව අට ලක්‍ෂ 87,333ක්. ඉකුත් පැය 24 තුළ ද කොරෝනා වෛරසයේ ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. තුන් ලක්‍ෂ 79,000කට අධික පිරිසක් ඊට ඇතුලත්.

    ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ශීඝ්‍ර වර්ධනය ආරම්භ වූයේ, සතියකට පෙරයි. මේ දක්වා වූ දින 8ක කාලසීමාව තුළ එරටින් දෛනික තුන් ලක්‍ෂය ඉක්මවූ ආසාදිතයන් පිරිසක් වාර්තා විය. පවතින උග්‍ර තත්වය හමුවේ ඉන්දීය සෞඛ්‍ය අංශ පසුවන්නේ ද ඉතා දුෂ්කර තත්වයකයි. එරට රෝහල්වල ධාරිතාව මේ වනවිටත් ඉක්මවා ගොසින්.

    ඔක්සිජන් හිඟවීම සෞඛ්‍ය පහසුකම් අවමවීම හේතුවෙන් ආසාදිතයන් මියයාමේ ශීඝ්‍ර වර්ධනයක් තවදුරටත් දක්නට ලැබේ. මේ අතර, ඉන්දියාවේ දැඩි ගැටලුවක් බවට පත්ව ඇති ඔක්සිජන් සපයා ගැනීමට බ්‍රිතාන්‍යය සිය සහය පළකර සිටී.

    ඒ අනුව, බ්‍රිතාන්‍යය ඉන්දියාවට ජංගම ඔක්සිජන් කර්මාන්ත ශාලා තුනක් ලබාදීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ. එමගින් විනාඩියකදී ඔක්සිජන් ලීටර් 1500ක් නිපදවිය හැකි බව විදෙස් වාර්තාවල සඳහන්.

    මේ අතර බ්‍රිතාන්‍යය අද තවත් ඔක්සිජන් තොගයක් ඉන්දියාවට ලබා දී තිබේ. ඒ බ්‍රිතාන්‍යය, ඉන්දියාවට ප්‍රදානය කරන දෙවැනි ඔක්සිජන් තොගයයි. ඊට අමතරව අමෙරිකාව, රුසියාව සහ තායිවානය යන රටවල් ද ඉන්දියාවට මානුෂීය ආධාර ලබාදීමට ඉදිරිපත්ව සිටී.

    අමෙරිකාව අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් ඉන්දියාවට ලබාදීමට පියවර ගත්තේය. අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සහ ඔක්සිජන් රැගත් රුසියානු ගුවන් යානා දෙකක් ද ඉන්දියාවට අද ළඟා විය.

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් ඉන්දීය රජයට එරට ජනතාවගෙන් චෝදනා රැසක් එල්ල වී තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර ඉදිරිපත් කිරීමට ජනතාව පෙළඹී ඇති බව වාර්තාවේ. ඒ අනුව, මෝදි රජය විවේචනය කරමින් ෆේස්බුක්හි පළවූ පණිවුඩ රැසක් අවහිර කිරීමට එම සමාගම ක්‍රියා කර තිබේ.

    ලොවම කම්පාවට පත් කරමින්, සුවිශාල ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පැවතිය ද ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ප්‍රාන්ත මැතිවරණයේ අවසන් වටයේ ඡන්ද විමසුම අද පැවැත්විණ.

    ඡන්ද විමසීම පැවැත්වෙන්නේ, එහි අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටින කිහිප දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති පසුබිමකයි.

    වෛරසය ආසාදනය වූ එක් අපේක්‍ෂකයෙකු ඊයේ මියගිය බව ද එරට මාධ්‍ය වාර්තාවල සඳහන්.

    Latest News