පිලිප් කුමරුගේ අවමංගල්‍යය, ශ්‍රී ලංකාවේ වේලාවෙන්, හෙට (17) පස්වරුවේ

අප්‍රේ 16, 2021

    එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමරුගේ අවමංගල්‍යය, ශ්‍රී ලංකාවේ වේලාවෙන්, හෙට (17) පස්වරුවේ සිදු කෙරේ.

    එය රාජකීය අවමඟුල් උත්සවයක් වශයෙන් පැවැත්වෙන බවත්, රාජ්‍ය ගෞරව සහිත අවමඟුලක් නොවන බවත්, බකිංහැම් මාලිගය නිවේදනය කරයි.

    පිලිප් කුමරුගේ දේහය මේ වනවිට තැන්පත් කර ඇත්තේ, ඔහු අවසන් හුස්ම හෙලූ වින්සර් මාලිගාවේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7.10ට පමණ, දේහය වින්සර් මාලිගාවේ සිට අවමංගල්‍ය දේව මෙහෙය පැවැත්වෙන ශාන්ත ජෝර්ජ් දේවස්ථානය වෙත රැගෙන යනු ලබයි.

    පිලිප් කුමරුගේ හා දෙවන එලිසබෙත් රැජිනගේ දරුවන් හතර දෙනා ඇතුළු රාජකීය අමුත්තන් සහභාගිවන පෙරහැරක් මගින් දේහය දේවස්ථානය වෙත ගෙන එනු ලබයි.

    කොරෝනා වංසගතය හේතුවෙන් අවමංගල්‍යයට සහභාගි වන්නේ ළඟම ඥාතීන් 30ක් පමණි. අවමංගල්‍ය දේව මෙහෙය පැවැත්වෙන්නේ, කැන්ටබරිහි අගරදගුරු හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

    විනාඩි 50ක දේව මෙහෙයෙන් පසුව, දේහය ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පිහිටි විශේෂ රාජකීය සුසානයේ තැනැපත් කරනු ලබයි.

    පිලිප් කුමරු සිය අවමංගල්‍ය රථය තමා විසින්ම සැලසුම් කර තිබීම විශේෂත්වයක්. 2003 වසරේදී පිලිප් කුමරු 82 වැනි වියේ පසුවන වකවානුවේ, ඔහු ලෑන්ඩ් රෝවර් මෝටර් රථ සමාගම සමඟ සාකච්ජා කර, තමාගේ අවමංගල්‍යය සඳහා විශේෂ රථයක් නිර්මාණය කළේය.

    එහි අවසන් සැකසුම් පිලිප් කුමරුගේ අධීක්‍ෂණය යටතේ නිම කෙරුණේ 2019 වසරේදී. එලෙස නිර්මාණය කෙරුණු, ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් TD-5-130 වර්ගයේ කොළ පැහැති ජීප් රථය මගින් කුමරුගේ දේහය හෙට (17) රැගෙන යනු ලබයි.

    Latest News