කොවිඩ් 19 ගොදුරක් වූ සුප්‍රකට දකුණු ඉන්දීය ගායක බාලසුබ්‍රමනියම්

සැප් 25, 2020

    සුප්‍රකට දකුණු ඉන්දීය ගායක එස්.පී. බාලසුබ්‍රමනියම් අද අභාවප්‍රාප්ත විය.

    කොවිඩ් 19 රෝගය වැළඳීම නිසා, ඔහු තමිල්නාඩුවේ චෙන්නායිහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. මියයන විට 74 හැවිරිදි වියෙහි පසු වූ ඔහු, වසර 50කට අධික කාලයක් පුරා, ගීත 40,000කට අධික සංඛ්‍යාවක් ගායනා කිරීමේ ගිනස් වාර්තාවට හිමිකම් කියන්නෙක්.

    එස්.පී. බාලසුබ්‍රමනියම් දෙමළ, හින්දි සහ තවත් භාෂා රැසකින් ගීත ගැයීමේ හැකියාවෙන් යුත් සංගීතඥයෙක්. ශ්‍රී ලංකාවේ ද ජාති භේදයකින් තොරව සුවහසක් රසිකයන් ඔහුගේ ගීතවලට ඇලුම් කරයි.

    මේ අසහාය ගායකයා, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම සම්මාන ලෙස සැලකෙන “පද්ම ශ්‍රී” සහ “පද්මභූෂන්” ඇතුළු මුල් පෙළේ සම්මාන රැසකින් පිදුම් ලැබූ අයෙක්.

    දමිළ සහ තෙළිඟු සිනමාවෙන් ගායන ක්‍ෂේත්‍රයට පිවිසි මොහු, බොලිවුඩය ආගමනය වී සාර්ථකත්වයක් අත්කරගත් පළමු දකුණු ඉන්දීය ගායකයා ලෙස ඉතිහාසගතව ඇත.

    ඒ.ආර්. රහුමාන්, ඉලේරාජා ඇතුළු සුප්‍රකට සංගීතඥයන්ගේ අවධානය නොඅඩුව දිනාගත් එස්.පී. බාලසුබ්‍රමනියම්, ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් ඇතුළු සිනමා නළුවන් රැසකගේ චරිත සිය හඬින් සැරසුවේය.

    Latest News