තුර්කිය යුද අභ්‍යාස අරඹයි

සැප් 07, 2020

    තුර්කිය,උතුරු දිග සයිප්‍රසයේ යුධ අභ්‍යාස ආරම්භ කර තිබේ. ඒ හේතුවෙන් තුර්කිය හා ග්‍රීසිය අතර පවතින මතභේදකාරී තත්වය තවදුරටත් උත්සන්න වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    සාගර දේශ සීමාව හා ගෑස් කැණීම් අයිතිය පිළිබඳ තුර්කිය හා ග්‍රීසිය අතර මතභේද ඇති වී තිබේ. එවැනි වාතාවරණයක නැගෙනහිර මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව තුර්කි සන්නද්ධ හමුදා, ඊයේ සිට වාර්ෂික යුධ අභ්‍යාස ආරම්භ කිරීම විශේෂත්වයක්. මධ්‍යධරණී කුණාටුව නමින් මෙම යුධ අභ්‍යාසය නම්කර ඇති අතර, එය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බවයි, තුර්කි බලධාරීන් පවසන්නේ.

    සයිප්‍රස් දූපත ප්‍රධාන කොටස් දෙකකට බෙදී පවතින අතර ඉන් උතුරු දිග ප්‍රදේශය තුර්කි පාලනය යටතේ පවතින අතර, දකුණු දිග ප්‍රදේශය ග්‍රීක අණසකට යටත්ව පවතියි. 1974 ආක්‍රමණයෙන් පසු තුර්කිය සයිප්‍රසයේ උතුරු දිග ප්‍රදේශයේ හමුදා භටයින් දහස් ගණනක් ස්ථානගත කර තිබේ.

    මේ වන විට තුර්කිය හා ග්‍රීසිය අතර සාගර දේශසීමා හේතුවෙන් උද්ගත වී ඇති මතභේදකාරී තත්වය සමනය කිරීමට නේටෝ සංවිධානය හා යුරෝපා සංගමය ද මැදිහත් වී සිටීම කැපී පෙනෙයි. කෙසේ වුවත්, මේ මස අවසානයේ පැවැත්වීමට නියමිත යුරෝපා කවුන්සිල් රැස්වීමේ දී, තුර්කියට එරෙහිව සම්බාධක පැනවීමට ප්‍රංශය සැලසුම් කර සිටින බවද, විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News