කොරෝනා; ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට දෙකෝටි 43න් ලක්‍ෂය ඉක්මවයි

අගෝ 27, 2020

    ලොවපුරා කොරෝනා වෛරස් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට දෙකෝටි 43න් ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ.

    අසල්වැසි ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ අලුතෙන් හඳුනාගෙන ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 75,995ක්. මේ අනුව ඉන්දියාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 33න් ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ. එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 60,000 ඉක්මවා ගියේ, ඉකුත් පැය 24 තුළ සිදුවූ කොරෝනා මරණ 1,017ත් සමඟයි.

    ලොව වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන අමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද ලක්‍ෂ 60 ඉක්මවා ගියේය. ඒ, ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනා ගැනුණු ආසාදිතයන් 44,637 දෙනා සමඟයි. එම කාලසීමාව තුළ එරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 1,289ක්. ලතින් අමෙරිකානු කලාපයේ කොරෝනා වෛරස් ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් හඳුනා ගැනුණු බ්‍රසීලයේ ඉකුත් පැය 24 තුළ සිදුව ඇති කෙරෝනා මරණ සංඛ්‍යාව 1,090ක්. එම කාලසීමාව තුළ එරටින් අලුතින් කොරෝනා ආසාදිතයන් 47,828ක් හඳුනාගෙන තිබේ.

    මේ අතර, වෛරස් ව්‍යාප්තියේ දෙවැනි රැල්ලකින් බලපෑම් එල්ල වූ ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ අලුතින් හඳුනාගෙන ඇත්තේ කොරෝනා ආසාදිතයන් 113 දෙනෙකු පමණි. එය, මාස දෙකක කාලයක් තුළ අලුතින් හඳුනා ගනු ලැබූ අඩුම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ලෙස සැලකේ. දකුණු කොරියාවේ ද අලුතින් කොරෝනා ආසාදිතයන් 300කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර, ඒ අනුව එරට දිනෙන් දින කොරෝනා ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්නුම් කරයි.

    ලොව පුරා ව්‍යාප්තවන කොරෝනා වෛරසය හේතුවෙන් ඩාවෝස් හි පැවැත්වීමට නියමිතව තිබූ ලෝක ආර්ථික සමුළුව 2021 වසරේ ගිම්හානය තෙක් කල් දැමීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්වේ.

    මේ අතර, තරබාරු වැඩි පුද්ගලයන් කොරෝනා වෛරසයෙන් ආසාධ්‍ය තත්වයට පත්වීමේ අවදානම සාමාන්‍ය තත්වයට වඩා දෙගුණයකින් වැඩි බව, නවතම අධ්‍යයනයකින් ප්‍රකාශ වී තිබේ. එසේම, එවැනි අධික තරබාරු පුද්ගලයන් කොරෝනා වෛරසය ආසාදනය වී මියයාමේ සම්භාවිතාව ද 50%කින් පමණ වැඩි වී තිබේ.

    Latest News