ලෙබනන් බීරූට් පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් ගණන 14ක්

අගෝ 08, 2020

    ලෙබනනයේ බේරූට් හි සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

    තුවාලකරුවන් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව තානාපති කාර්යාල ප්‍රකාශිකාවක් සඳහන් කළාය.

    ලෙබනනයේ සිදුවූ පිපිරීමෙන් මේ වනවිට එරට වැසියන් ඇතුළු විදේශිකයින් 5000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

    මේ අතර පිපිරීම් හේතුවෙන් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ නිලධාරීන්ගේ නිවාසවලට හානි සිදුව තිබුණ ද පීඩාවට පත් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය දිනපතා විවෘතව තැබෙන බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කරුණාරත්න මහත්මිය සඳහන් කළේය.

    මෙම හදිසි තත්ත්වය තුළ තානාපති කාර්යාලය හා සම්බන්ධ වෙමින් එරට ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සේවාවන් සහ උපදෙස් ලබා ගැනීමට පැමිණෙමින් සිටින බව ද ඇය පැවසීය.

    කෙසේවෙතත් සිද්ධියෙන් තුවාල ලැබූ සහ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ලෙබනන් රජය සමග සෘජුව සම්බන්ධ වෙමින් කටයුතු කරමින් සිටින බව ද ශානි කරුණාරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

    Latest News