කොරෝනා වැළැක්වීමට බ්‍රිතාන්‍යයන් ස්වයං විනයකින් යුක්තව සිටිය යුතුයි; මහ රැජිණ

අප්‍රේ 05, 2020

    කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා සියලු බ්‍රිතාන්‍ය ජාතිකයින්ට ස්වයං විනයකින් යුක්තව සිටින ලෙස දෙවැනි එළිසබෙත් මහ රැජිණ ඉල්ලීමක් කළාය.

    ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් බ්‍රිතාන්‍ය මහ රැජිණ විසින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවාය. මෙම කාලයේදී බ්‍රිතාන්‍ය වැසියන්ට දැඩි අපහසුතාවට මුහුණ දීමට සිදුවිය හැකි බව, ඇය සඳහන් කළාය. වෛරසය මැඩලීම සඳහා පෙරමුණ ගෙන ක්‍රියාකරනු ලබන සෞඛ්‍ය සහ අනෙකුත් කාර්ය මණඩලවලට රැජිණගේ විශේෂ ස්තූතිය හිමිවූවාය. බ්‍රිතාන්‍ය මහ රැජිණ ජාතිය අමතා කළ කතාව එරට වේලාවෙන් අද රාත්‍රී 8.00ට විකාශය වීමට නියමිතයි. ඉකුත් පැය 24 තුළ බ්‍රිතාන්‍යයෙන් මරණ 708ක් වාර්තා වීමත් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 4,313ක් දක්වා වැඩිවී තිබේ. ආසාදිත සංඛ්‍යාව ද 42,000කට ආසන්නයි. මේ වනවිට බ්‍රිතාන්‍යයේ ආරක්‍ෂිත උපකරණවල දැඩි හිඟයක් පවතින බව, වාර්තාවේ. ඇතැම් වෛද්‍යවරුන්ට අවශ්‍ය ආරක්‍ෂක උපකරණ කට්ටල නොමැතිවීම හේතුවෙන් ඔවුන් කසළ සඳහා යොදාගන්නා බෑගයකින් ශරීරය ආවරණය කරගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    පැතිරයන නව කොරෝනා වෛරසය හේතුවෙන් දිනක් තුළ ප්‍රංශයෙන් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා විය. මරණ සංඛ්‍යාව 1,053ක්. ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 7,560ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ප්‍රංශයට පසුව, ඉකුත් පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. ඒ අනුව අමෙරිකාවේ දැනට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 8,454ක්. ආසාදිත සංඛ්‍යාව තුන් ලක්‍ෂ 12,000 කට ආසන්නයි. ලොව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වී ඇත්තේ, අමෙරිකාවෙන්. එරට ඉදිරි දින කිහිපයේදී ඉතා දරුණු අභියෝගවලට මුහුණ දෙනු ඇති බව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    ස්පාඤ්ඤයේ දිනක් තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 749ක්. ඒ අනුව, එරට සමස්ත මරණ සංඛ්‍යාව 12,000 ඉක්මවා තිබේ. ආසාදිත සංඛ්‍යාව ද එක් ලක්‍ෂ තිස් දහස ඉක්මවා තිබේ. ස්පාඤ්ඤයේ ඊයේ වාර්තා වූ රෝගී මරණ සංඛ්‍යාවෙහි යම්කිසි අඩුවක් පෙන්වයි.

    අනතුරුව වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ ඉතාලියෙන්. එය දැනට එක් ලක්‍ෂ 24, 632ක් වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 15,362ක්. ඉතාලිය ඇතුළුව යුරෝපයේ රටවල් රැසක වැඩිහිටි නිවාස දැඩි අර්බුදයකට මුහුණ පා සිටී. බොහෝ වැඩිහිටි නිවාසවලට රෝගය පැතිරයාම ඊට හේතුවයි.

    මේ අතර දකුණු කොරියාවේ රැකියා අපේක්‍ෂා කරන්නන්ට අදාළ විභාගය පැවැත්වුනේ, මේ ආකාරයටයි. එරට අන්සාන් නුවර පාපන්දු පිටියක් විභාග මධ්‍යස්ථානය ලෙස සකස් කර තිබිණ.

    ඉන්දියාව, මුම්බායි හි “ඔරාවි“ පැල්පත් නිවාසවලින් කොරෝනා මරණයක් වාර්තාවීමත් සමඟ එරට වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ වේගවත් කොරෝනා ආක්‍රමණයකට මුහුණදීමට ඉන්දියාව සූදානම් විය යුතු බවයි. මරණයට පත්වුනේ 56 හැවිරිදි පුද්ගලයෙක්.

    ඔස්ට්‍රේලියාව වසා දැමීමත් සමඟ එරට නිවෙස් තුළ වෙසෙන ජනතාවගේ මානසිකත්වය ගොඩනඟා ගැනීමට කළ ක්‍රියාකාරකමක් ද එළිදැක්විණ.

    ලොව පුරා රටවල් 206කින් අද වනවිට සිදුවූ මරණ සංඛ්‍යාව, 65,000කට අධිකයි. නවතම වාර්තා අනුව මේ වනවිට ලොව පුරා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව දොළොස් ලක්‍ෂ 15,000 දහස ඉක්මවා තිබේ. තවත් දෙලක්‍ෂ පනස් දහසකට වැඩි පිරිසක් සුවය ලැබීය.

    Latest News