“කොරෝනා“ ලොව පුරා මරණ සංඛ්‍යාව 33 දහස් 900 ඉක්මවයි

මාර් 30, 2020

    කොවිඩ් 19 නොහොත් කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනයට රටේ ක්‍රියාත්මක තහනම තවදුරටත් දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

    ඒ අනුව, වෛරස් ව්‍යාප්තිය පාලනයට වැදගත් වන සමාජ දුරස්ථභාවය වැනි ක්‍රියාමාර්ග එලෙසින්ම ලබන අප්‍රේල් 30 වැනි දින දක්වා ක්‍රියාත්මක විය යුතු බව, ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඊයේ සවස විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, ඉදිරි සති දෙක තුළ අමෙරිකාවෙන් ඉහළම මරණ අනුපාතය වාර්තා විය හැකි බවයි. මෙම අවදානම සලකා බලමින් වෛරස් ව්‍යාප්තිය පාලනයට පවතින නීති තවදුරටත් වැඩි කිරීමට පියවර ගනු ඇත. කොරෝනා වෛරස් මර්දනය සඳහා ජනාධිපති ට්‍රම්ප් පත් කළ කාර්ය සාධන බලකායේ වෛද්‍ය ඇන්තනි ෆවුසි මීට පෙර ප්‍රකාශ කළේ, වෛරසය හේතුවෙන් අමෙරිකානුවන් ලක්‍ෂ දෙකක පමණ පිරිසක් මිය යා හැකි බවයි. ඉකුත් පැය 24 තුළ අමෙරිකාවෙන් වාර්තා වන නව ආසාදිතයන් සංඛ්‍යාව දහනව දහසකට ආසන්නයි. වාර්තා වන නව මරණ සංඛ්‍යාව 250 කට අධිකයි. ඒ අනුව, එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව, එක් ලක්‍ෂ හතළිස් දෙදහස් හතලිස් දෙදහසක් බවට පත්ව ඇති අතර, මියගිය සංඛ්‍යාව 2,484 දක්වා ඉහළ ගොස් තිබේ.

    කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව තිස් තුන් දහස් 900 ඉක්මවා තිබේ. ලොව පුරා තහවුරු වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව හත් ලක්ෂ විසිඑක් දහසක්. තවමත් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවන ඉතාලියෙන් හඳුනාගෙන ඇති නව ආසාදිතයන් සංඛ්‍යාව, අමෙරිකාවට සාපේක්‍ෂව ක්‍රම යෙන් පහළ යමින් පැවතීම විශේෂත්වයක්. ඒ අනුව, එරටින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 5,217ක්. එය මින් පෙර එරටින් දිනක වාර්තා වූආසාදිතයන් ප්‍රමාණය හා සසඳන කළ කැපී පෙනෙන අඩුවීමක්. කෙසේ වුවත්, තවමත් කොරෝනා වෛරසයෙන් මෙතෙක් වැඩිම මරණ සිදුවූ රට වන්නේ ඉතාලියයි. ඉතාලියෙන් නව මරණ 756ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව මියගොස් ඇති මුළු පිරිස 10,779ක්. ඉකුත් පැය 24 තුළ ඉතාලියෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව අභිබවමින් පුද්ගල මරණ 821ක ප්‍රමාණයක් ස්පාඤ්ඤයෙන් වාර්තාවේ.

    ඒ අනුව, ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 6,800ක්. නව ආසාදිතයන් 6,800 කට අධික පිරිසක් තහවුරුවීමත් සමඟ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ද අසූ දහස ඉක්මවනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා මේ වනවිට රටවල් රැසකින් ස්පාඤ්ඤයට සහය ලැබී තිබේ. ඊයේ දිනයේ දී වෛද්‍ය සැපයුම් තොගයක් රැගත් චෙක් රාජ්‍යෙය් යුද ගුවන් යානයක් ස්පාඤ්ඤයට වෙත ළගා විය. බ්‍රිතාන්‍ය යේද කොරෝනා වෛරස් ආසාදිතයින් දිනෙන් දින ඉහළ යමින් පවතී.

    ඉකුත් පැය 24 තුළ බ්‍රිතාන්‍ය යෙන් ද මරණ 200කට අධික සංඛ්‍යාවක් වාර්තා වන අතර, එරට සමස්ත මරණ සංඛ්‍යාව 2,400 ඉක්මවා තිබේ. මේ වනවිට වෛරස් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා බ්‍රිතාන්‍ය තුළ ද තාවකාලික රෝහල් ඉදිවෙමින් පවතී. එරට ආරක්‍ෂක අංශවල මැදිහත්වීමෙන් එම කටයුතු සිදුවන බව වාර්තාවේ.

    කොරෝනා වෛරසය චීනයේ වූහාන් නගරයේ මුහුදු ආහාර වෙළෙඳපොළක් ආශ්‍රිතව ආරම්භ වූ බවට පවතින මතය අසත්‍ය බව, අමෙරිකානු සෞඛ්‍ය විශේෂඥයන් පවසයි. ඔවයුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙය ස්වභාවික ක්‍රියාවලියක් මගින් ඇති වී ඇති බවයි.කොරෝනා වෛරසයෙන් බලපෑමට ලක්ව ඇති ජනතාවට සහන සැලසීම සඳහා පවතින වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට කැනඩා රජය තීරණය කර තිබේ. එරට අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ ප්‍රකාශ කලේ, තරුණ සහ වැඩිහිටි ප්‍රජාවට ලබාදෙන සහන ඉහළ නැංවීමට ක්‍රියා කරන බවයි. එරටින් වෛරස් ආසාදිතයින් 6,300කට අධික පිරිසක් හඳුනාගෙන තිබේ. වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 65ක්. අග්‍රාමාත්‍ය ‍ටෘෘඩෝගේ බිරිඳට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර, ඇය මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
    චීනයෙන් ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනාගෙන ඇත්තේ වෛරස් ආසාදිතයින් 31 දෙනෙකු පමණි. ඉන් 30 දෙනෙකුම විදේශයන්ගේ සිට පැමිණ ඇති බව, වාර්තාවේ. රට අභ්‍යන්තරයෙන් එක් පුද්ගලයෙකු වාර්තා විය. ඔහු ගුවාන්ෂු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කෙසේ වෙතත්, වෛරසයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන වූහාන් නගරයේ කිසිදු ආසාදිතයෙක් අලුතින් හඳුනාගෙන නැහැ.

    ඉන්දියාව මුළුමනින්ම වසා දැමීමට ගත් තීරණයත් සමඟ දැඩි අසරණභාවයට පත්වූ මිලියන ගණනක් වන දුගී ජනයාගෙන් සමාව ඉල්ලා සිටින බව, එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර සිටී. වෛරස් ව්‍යාප්තිය පාලනයට වෙනත් කිසිදු ක්‍රම වේදයක් නැති බව, ඔහු සඳහන් කර ඇත්තේ. එරටින් වෛරස් ආසාදිතයින් දහසකට අධික පිරිසක් හඳුනාගෙන ඇති අතර, වාර්තා වන මරණ සංඛ්‍යාව 27ක්. මේ අතර, කොරෝනා වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දුම්රිය මැදිරි යොදා ගැනීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

    ඔස්ට්‍රේලියාව ද කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති නීති තවදුරටත් දැඩි කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, විවාහ මංගල්‍යයක් සඳහා සහභාගිවීමට මින් පෙර පුද්ගලයින් පස් දෙනෙකුට අවස්ථාව ලබාදී තිබූ අතර, එම සංඛ්‍යාව පුද්ගලයින් දෙකකට සීමා කිරීමට තීරණය කෙරිණ. මේ අනුව ජනතාව වැඩි වශයෙන් ගැවසෙන සියළුම අවස්ථාවලට සහභාගි වන පිරිස පුද්ගලයින් දෙක දක්වා සීමා කෙරෙනු ඇත. ස්වසන අපහසුතා, කොරෝනා වෛරස් ආසාදිතයන් තුළ පවතින මූලික රෝග ලක්‍ෂණයක්. එවැනි අවස්ථාවක රෝගියාගේ ස්වසනය පහසු කිරීමට වෙන්ඩිලේටර් යන්ත්‍රයකින් තොරව පෙණහළුවලට ඔක්සිජන් ලබාදීමට හැකි ක්‍රම වේදයක් පිළිබඳව ලන්ඩන් ඉංජිනේරු විශ්වවිද්‍යාලය සහ මර්සීඩීස් ෆොමියුලා වන් මෝටර් රථ සමාගම විසින් පරීක්‍ෂණ සිදුකර තිබේ. එය ඉදිරියේදී වෛරස් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු සඳහා භාවිතයට ගනු ඇත.

    කොලොම්බියානු පොලිසිය එරට ජනතාව නිවෙස් තුළ රඳවා තැබීමේ කටයුතු සඳහා ඩ්‍රෝන යානා උපයෝකි කර ගෙන තිබේ. එසේම, විවිධ ශබ්ද ද උපයෝගි කර ගනිමින් වෛරසය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගැණින. එරටින් වෛරස් ආසාදිතයන් 700කට අධික පිරිසක් හඳුනාගෙන ඇති අතර, මරණ තුනක් ද වාර්තාවේ.

    Latest News