ඉකුත් පැය 24ට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 66,767ක්..අමෙරිකවෙන් 19,500ක්

මාර් 29, 2020

    ඉකුත් පැය 24 තුළ ලොවපුරා නව කොරෝනා ආසාදිතයින් 66,767ක් වාර්තා වීමත් සමග මෙතෙක් ලොව පුරා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ හැට හතර දහස දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතරින් ආසාදිතයින් එක් ලක්ෂ විසිතුන් දහස් හත්සිය පනහක්ම වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

    ඉකුත් පැය 24තුළ අමෙරිකාවෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 19,500කට අධිකයි. ඊයේ වාර්තා වූ මරණ 525ත් සමග අමෙරිකාවේ සිදුවූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,227ක්. අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින්ගෙන් 52,000ක්ම වාර්තා වී ඇත්තේ, නිව්යෝර්ක් ප්‍රදේශයෙන්.

    එම ප්‍රදේශය නිරෝධායනය කිරීම අවශ්‍ය නොවන බවත් එසේ කිරීම අවුල් සහගත වනු ඇති බවත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ධවල මන්දිරයේ කොරෝනා වෛරස කාර්ය සාධන බලකායේ නිර්දේශයක් මතයි.
    එහෙත් ට්‍රම්ප් ජනාධිපතිවරයා මින් පෙර පවසා තිබුණේ, කොරෝනා වෛරස ව්‍යාප්තිය අවම කරලීමට නිව්යෝර්ක් හා නිව්පර්සි යන ප්‍රදේශ නිරෝධායනය කිරීමෙන් හැකිවනු ඇති බවයි.

    Last modified on ඉරිදා, 29 මාර්තු 2020 13:25

    Latest News