“කොරෝනා" මැඩපැවැත්වීමට ඉතාලියේ නිරෝධායන වැඩපිළිවෙළක්

මාර් 10, 2020

    “කොරෝනා වෙරස්“ ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා ඉතාලිය අද සිට එරට කෝටි 6ක සමස්ත ජනගහනය ආවරණය වන පරිදි නිරෝධායන වැඩපිළිවෙළක් ආරම්භ කළා.

    රෝගය පැතිර යාම ආරම්භ වූ චීනය, මේ වනවිට එහි ව්‍යාප්තිය බොහෝ දුරට පාලනය කර ඇතැයි, වාර්තා වනවා. අද වනවිට ලොව පුරා වාර්තා වූ කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව එක් ලක්‍ෂ දහසය දහස ඉක්මවා ඇති අතර ඉන් සිදුවූ මරණ සංඛ්‍යාව 4,089ක්.

    චීනයෙන් පරිබාහිරව වඩාත් දරුණු ලෙස රෝගය ව්‍යාප්ත වූ රට බවට ඉතාලිය පත්ව තිබෙනවා. එරටින් හමුවී ඇති රෝගීන් සංඛ්‍යාව 9,172ක්. මරණ සංඛ්‍යාව 463ක් බවයි, වාර්තා වන්නේ. මේ නිසා ජනතාවට ගමන් බිමන්වලින් බැහැරව නිවාසවලට වී කල්ගත කරන ලෙසයි, ඉතාලි රජය දැනුම් දී ඇත්තේ. මහජන රැස්වීම්, ක්‍රීඩා උත්සව හා අනෙකුත් ජනතා ඒකරාශී අංගයන් සියල්ලම අත්හිටුවා තිබෙනවා. විශේෂයෙන් රෝගය දරුණු ලෙස ව්‍යාප්ත වූ උතුරු ඉතාලිය දැන් පුළුල් නිරෝධායනයකට ලක් කෙරෙනවා.

    නිරෝධායන ක්‍රියාමාර්ගයත් සමඟ ඉතාලියේ පමණක් නොව, බොහෝ රටවල අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් මතුව තිබෙනවා. වැසිකිලි සඳහා භාවිත කරන කඩදාසි ලබාගැනීමට ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසැලක ඇති වී තිබූ නොසන්සුන් තත්වයක් මේ ආකාරයෙන් කැමරාවට හසුව තිබුණා.

    ඉතාලියට අමතරව, රෝගය වඩාත් දරුණු ලෙස ව්‍යාප්තවී ඇත්තේ, ඉරානය හා දකුණු කොරියාව යන රටවල. ඉරානයේ රෝගීන් 8,000ක් ද දකුණු කොරියාවේ 7,500ක් ද සිටින බවයි, වාර්තා වන්නේ. ඊට අමතරව, ස්පාඤ්ඤය, ප්‍රංශය හා ජර්මනිය යන රටවල ද රෝගීන් සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා. අමෙරිකාවෙන් හමුවී ඇති රෝගීන් සංඛ්‍යාව 729ක්.

    මේ අතර, ගුවන් ගමන් ක්‍ෂේත්‍රය කොවිඩ් නයින්ටීන් රෝග තත්වය නිසා ලබා ඇති පාඩුව, අමෙරිකානු ඩොලර් බිලියන 113ක් පමණ වන බවයි, වාර්තා වන්නේ. අද දිනයේ ලොව බොහෝ ගුවන් සේවා මගින් ඉතා අල්ප සංඛ්‍යාවක් සහිතව පියාසර කරන ආකාරය දැක ගන්නට ලැබුණා.

    සංචාරක කර්මාන්තයට සිදුව ඇති හානිය ද ඉතා බරපතලයි. ඉතාලියේ සංචාරක ආකර්ශනීය ස්ථාන පමණක් නොව තායිලන්තයේ ජනප්‍රිය ෆූකට් වෙරළ තීරය ද පාළුවට ගොස් ඇති ආකාරය දැක ගන්නට ලැබෙනවා.

    Last modified on අඟහරුවාදා, 10 මාර්තු 2020 20:26

    Latest News