සවුත්වේල්ස් ඇතුළු ප්‍රදේශ කිහිපයකට හදිසි තත්වයක්

පෙබ 17, 2020

    බ්‍රිතාන්‍යයේ සවුත්වේල්ස් ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    ඩෙනිස් සුළිකුණාටුව අදාළ ප්‍රදේශයන්ට දැඩි බලපෑම් එල්ල කිරීමත් සමගයි, හදිසි තත්වය ප්‍රකාශයට පත් කර ඇත්තේ. සවුත්වේල්ස් පොලීසිය ඩෙනිස් සුළිකුණාටුවත් සමග ඇතිවූ ගංවතුර තත්වය සහ නායයාම් හේතුවෙන් උද්ගතව ඇති ආපදාවන් කළමනාකරණය සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබේ. නිවෙස් තුළ සිරවී සිටින ජනතාව බේරා ගැනීමට ද මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    බ්‍රිතාන්‍ය පුරා ගංවතුර අනතුරු ඇඟවීම් 700කට අධික ප්‍රමාණයක් නිකුත් කර තිබේ. මේ හේතුවෙන් මිනිස් ජීවිතවලට මතුව ඇත්තේ, දැඩි අවදානම් තත්වයක්. පුද්ගලයින් කිහිපදෙනෙකු ද අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි. වෝර්සෙස්ටර්ෂයර් හි පොලිස් නිලධාරීන් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත්තේ, තේම්ස් නදියට ගසාගෙන ගොස් ඇති බවට සැකකෙරෙන පුද්ගලයෙකු සෙවීමටයි.

    ඩෙනිස් සුළිකුණාටුව බ්‍රිතාන්‍යයේ මහාමාර්ග, දුම්රිය මාර්ග හා ගුවන් ගමන් රැසකට ද බාධා එල්ල වී තිබේ. ඊයේ දිනයේදී එරට ගුවන් යානා 170ක් අත්හිටුවීමට බලධාරීන් කටයුතු කළ අතර ඒ හේතුවෙන් දුෂ්කරතාවට ලක්වූ පිරිස 25,000කට අධිකයි.

     

    Last modified on සදුදා, 17 පෙබරවාරි 2020 10:38

    Latest News