ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

ජන 08, 2020

    ඉරාකයේ අමෙරිකානු භටයින් රැඳී සිටින ගුවන් කඳවුරු කිහිපයක් වෙත ඉරානය බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.

    ජෙනරාල් කාසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙසයි, ඉරානය මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ. අමෙරිකාව හා ඉරානය අතර මැද පෙරදිග කලාපයේ හටගෙන ඇති යුද උණුසුමත් සමඟ ගෝලීය තෙල්, රත්‍රං මිල ඇතුළු ක්‍ෂෙත්‍ර ගණනාවක දැඩි බලපෑම් එල්ල වී තිබේ. බටහිර බැග්ඩෑඩ් අගනුවර පිහිටි ගුවන් හමුදා කඳවුරු දෙකක් ඉලක්ක කර ඉරානය මිසයිල ප්‍රහාර අද අලුයම එල්ල කළේය. ඒ, ඝාතනය කෙරුණු කාසෙම් සොලෙයිමානිගේ දේහය මිහිදන් කර පැය කිහිපයකින් අනතුරුවයි. 1979 වසරේ දී ටෙහෙරානයේ අමෙරිකානු තානාපති කාර්යාලය අත්පත් කර ගැනීමෙන් අනතුරුව අමෙරිකාවට එරෙහි ඉරානය සෘජු ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව මෙයයි. ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනි කියා සිටියේ, ප්‍රහාරය අමෙරිකාවට එල්ල කළ කම්මුල් පහරක් බවයි. ප්‍රහාරවලින් වැඩි බලපෑමක් සිදුව නොමැති බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඉරාකයේ රැඳී සිටින අමෙරිකානු භටයින්ගේ සංඛ්‍යාව 5,000ක් පමණ.

    අමෙරිකානු හමුදාව ත්‍රස්තවාදීන් ලෙස සලකමින් විශේෂ පනතක් ද ඉරාන පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරිණ. මැද පෙරදිග හටගෙන ඇති නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් ලෝක තෙල් මිලට ද බලපෑම් එල්ල විය. එය ඉහළ ගොස් ඇත්තේ, 4%කිනි. මේ අතර ලොව ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් රැසක් ඉරාන-ඉරාක ගුවන් සීමා මඟ හරිමින් තම ගුවන් ගමන් මාර්ග යළි සැලසුම් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ද සිය කොළඹ හා ලන්ඩනය අතර ගුවන් මාර්ගය ඉරාන-ඉරාක ගුවන් සීමාව මඟ හරිමින් සංශෝධනය කර තිබේ. ගුවන් මගීන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව තම ප්‍රමුඛ වැදගත්කම බව එම සමාගම පෙන්වා දෙයි.

    Latest News