පකිස්ථානයේ නාවකයින් පෙරමුණ ගනිමින් ශ්‍රි ලංකාව පරාජ කරයි

දෙසැ 23, 2019

    ශ්‍රී ලංකා - පකිස්තාන් ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 263 ක දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට පකිස්තානය අද සමත් විය.

    තරගාවලියේ පළමු තරගය වැස්සට සේදී ගිය අතර ඒ අනුව තරගාවලිය අවසන් වූයේ පකිස්තානයට 1-0 ක තරගාවලි ජයක් හිමවිය. පකිස්තානය දෙවැනි ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 555ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

    පස්වැනි දිනය වූ අද (23) තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 212 ක් ලබාගෙන සිටියේය. අද දිනයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩ නොතබා ඉතිරි කඩුලු 03 දවා ගැනීමට පකිස්තාන පන්දු යවන්නන් සමත් වූ අතර ඒ සඳහා ඔවුන්ට වැය වූයේ පන්දු 16 ක් පමණි.

    ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ඕෂධ ප්‍රනාන්දු හුදෙකලා සටනක නිරත වෙමින් ඉනිමේ නවවැනි කඩුල්ල ලෙස දැවීගියේ මිනිත්තු 277 ක් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ලකුණු 102 ක් ලබාගෙන සිටියදිය. ඒ ඔහුගේ මංගල ටෙස්ට් ශතකයයි.

    මීට අමතරව නිරෝෂන් දික්වැල්ල ලකුණු 65 ක් වාර්තා කළ අතර පිතිකරුවන් සිව් දෙනෙකුම (මෙන්ඩිස්, ධනංජය, ඇඹුල්දෙනිය, විශ්ව ලකුණු 0 ට) දැවී ගියේය.

    ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අසාර්ථක වෙද්දී පකිස්තානු නවක ක්‍රීඩකයන් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වීමට සමත් විය.

    මෙම පරාජයත් සමග ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා පිළ සිව්වැනි ස්ථානයට පත් වූ අතර පකිස්තානය තෙවැනි ස්ථානයට පත්ව සිටී. පළමු හා දෙවැනි ස්ථාන පිළිවෙලින් ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව හිමි කරගෙන සිටී.

    Latest News