බෝම්බ පිපිරීම ගැන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංවේගය

අප්‍රේ 23, 2019

    ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ද සිය සංවේගය පළ කර තිබේ. ඒ සිය පෞද්ගලික ට්විටර් ගිණුම් මගින්.

    ඉන්දීය හිටපු සුපිරි ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්, නායක විරාත් කෝලි සහ අනිල් කුම්ලේ යන ක්‍රීඩකයින් මෙලෙස සිය සංවේගය පළ කර තිබේ. ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ, මෙම ප්‍රහාර සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පනයට පත්වූ බවයි.

    එංගලන්ත කණ්ඩායමේ නායක ඉයෙන් මෝගන් සහ හිටපු ක්‍රීඩක කෙවින් පීටර්සන් ද සිය පෞද්ගලික ට්විටර් පණිවුඩ මගින් සිය ශෝකය පළ කර තිබේ. ඔස්ට්‍රේලියානු නායක ඇරොන් ෆින්ච් ද සිය ශෝකය පළ කළේය.

    දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ෆෆ් ඩුප්ලසිස් සහ හිටපු නායක ඒ.බී. ඩිවිලියස් යන ක්‍රීඩකයින් ද පෞද්ගලික ට්විටර් ගිණුම් මගින් ශ්‍රී ලංකාවේ සිදුවීම පිළිබඳව සිය ශෝකය පළ කර තිබේ.

    බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් සහ නවසීලන්තයේ හිටපු නායක බ්‍රෙන්ඩම් මැකලම් ද ට්විටර් ගිණුම් මගින් ශෝක පණිවුඩ නිකුත් කර තිබිණ.

    පකිස්තාන ක්‍රිකට් නායක සෆ්රාස් අහමඩ් හා හිටපු ක්‍රීඩකයින් වන සයිඩ් අෆ්රිඩී, වසීම් අක්‍රම්, ශොයිබ් අක්තාර් සහ වකා යුනුස් ද ශ්‍රී ලංකා ජනතාව වෙත සිය සංවේගය පළ කර තිබේ.
    බංග්ලාදේශයේ තමීම් ඉක්බාල් සහ මුෂ්ෆික රහීම් යන ක්‍රීඩකයින් ද පෞද්ගලික ට්විටර් පණිවුඩ මගින් ශ්‍රී ලාංකිකයින්ට සිය ශෝකය පළ කර තිබේ.

    Latest News