ආසියානු රන් බලාපොරොත්තුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායම 18 පිටත්ව යයි

අප්‍රේ 13, 2019

    මේ මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා දෝහා කටාර් හීදී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පිල 18 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්වේ.

    ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩකයන් 8ක් හා ක්‍රීඩිකාවෝ 7ක් ඇතුළත්වන අතර නිලධාරීන් 6ක් සංචාරයට එක්ව සිටිති. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිලේ නායකත්වයට මීටර් 800 ක්‍රීඩිකා නිමාලී ලියනාරච්චිට පිරිනමා ඇත.

    දෝහා කටාර් කලීෆා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට ආසියාවේ රටවල් 41කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 600කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතයි. ඉන්දියාවේ බුවනේස්වර් ක්‍රීඩාංගණයේ පැවැති 22වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට රටවල් 41කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 560ක් එක්ව සිටියහ.

    එහිදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හා රිදී පදක්කම් 4ක් හිමිවූ අතර මීටර් 800 ක්‍රීඩිකා නිමාලී ලියනාරච්චි රන් පදක්කමක් හා එම ඉසව්වෙන්ම ගයන්තිකා අබේරත්න රිදී පදක්කමක් දිනා ගත්තාය. මීටර් 400 පිරිමි සහාය දිවීමේ කණ්ඩායම, මීටර් 200 ක්‍රීඩිකා රුමේෂිකා රත්නායක හා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානී ලේකම්ගේ රිදී පදක්කම් දිනා ගත්හ. මෙයින් නිමාලී හා ගයන්තිකා පමණක් මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වාසනාව උදාකර ගෙන ඇත.

    මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි ඉලක්ක කොට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ තේරීම් තරග දෙකක් පැවැති අතර එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9ක් ආසියානු පරිසාධන මට්ටම පසුකරමින් කෙළින්ම තරගාවලියට සුදුසුකම් ලැබූ අතර තවත් 6ක් ආසියානු පරිසාධන මට්ටම ආසන්නයේ පසු වූහ. එම තේරීම් තරගයේදී මීටර් 100 පිරිමි ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ හිමාෂ ඒෂාන් (තත්. 10. 22) සමත්වීම කැපී පෙණුනි.

     

     

    Latest News