2026 ක්‍රිකට් 20 - 20 ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

මාර් 16, 2024

    2026 වසරේ ලෝක කුසලාන 20 - 20 ක්‍රිකට් තරගාවලිය, ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව ශ්‍රී ලංකාව එම තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබාගන්නවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2026, 20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව විශේෂ නිවේදනය නිකුත් කළේ, කවුන්සිලයේ විධායක කමිටුව රැස්වීමෙන් පසුවයි. එම රැස්වීම ICC නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්, ඩුබායි හිදී පැවැත්වුණා.

    ඔවුන් එහිදී තීරණය කර තිබෙන්නේ, 2026 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක දේශයන් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තෝරා ගැනීමටයි. 2026 වසරේ පෙබරවාරි සහ මාර්තු යන මාසවලදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 20 ක් සහභාගි වනවා. මෙහිදී කණ්ඩායම් 12 ක් තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබාගැනීමට නියමිතයි.

    මේ අතර, සාර්ථක අත්හදාබැලීමේ කාලයකින් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙන්නේ, එක්දින සහ 20 - 20 තරග සඳහා කාල ගණන රීතිය ඇතුළත් කිරීමටයි. ඒ අනුව 2024 වසරේ ජූනි මස පළමුවැනිදා සිට මෙම රීතිය ක්‍රියාත්මක කරනු ඇති. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබෙන්නේ, එමගින් තරගය සඳහා වැය වන අතිරේක කාලය, අවම කිරීමට උත්සාහ ගන්නා බවයි.

    Latest News