ශ්‍රී ලංකා 'A' කණ්ඩායම අවසන් පූර්ව වටයට

ජූලි 19, 2023

    නැගී එන කණ්ඩායම් අතර, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම සමත් වුණා.

    ඒ, ඊයේ පැවති තරගයේදී ඕමාන කණ්ඩායමට එරෙහිව ලකුණු 217 ක විශිෂ්ට ජයක් වාර්තා කරමින්.

    තරගය පැවැත්වුණේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කාසියාවේ වාසිය දිනූ ඕමාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ඒ අනුව, ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 259 ක්. පසිඳු සූරියබණ්ඩාර ලකුණු 60 යි. සහන් ආරච්චිගේ ලකුණු 48 ක් සහ ලසිත් කෲස්පුල්ලේ ලකුණු 42 ක් රැස් කළා. පිළිතුරු ලෙස ඕමාන ඒ කණ්ඩායමට පන්දුවාර 17 පන්දුවක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 42 ක් පමණයි. පන්දු යැවීමේදී චාමික කරුණාරත්න කඩුලු 3 ක් බිඳහෙලුවා. දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන් සහ ලහිරු සමරකෝන් කඩුලු 2 බැගින් දවා ගත්තා. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවේ ඒ කොටසේ ‍ලකුණු සටහනට අනුව පෙරමුණ ගනිමින්.

    Latest News