ශ්‍රී ලංකා පිල ‍ටෙස්ට් තරග ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය හිමිකර ගනී

අප්‍රේ 18, 2023

    ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉතිහාසයේ දැවැන්තම ටෙස්ට් තරග ජයග්‍රහණය අද වාර් තා කළා.

    ඒ, අයර්ලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 280 කින් ජය ගනිමින්.  තරගය පැවැත්වුණේ, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තෙවැනි දිනය සඳහා අද තරගය ආරම්භ කරන විට අයර්ලන්තය සිය පළමු ඉනිමට කඩුලු 7 ක් දැවී ලකුණු 117 ක් ලබා සිටියා. අද දිනයේ අයර්ලන්තයට රැස් කිරීමට හැකි වූයේ, තවත් ලකුණු 26 ක් පමණයි.

    ඒ අනුව, අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 143 කට සීමා වුණා. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 7 ක් බිඳහෙලුවා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 591 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 448 ක් පසු පසින් සිටි අයර්ලන්ත කණ්ඩායම, දෙවැනි ඉනිම ආරම්භ කළේ, ඉනිමක පරාජයකින් බේරීම සඳහායි.

    ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 40 කට දැවී ගියා. අනතුරුව, 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 60 ක සබඳතාවක් ගොඩනැගුණත්, එය, බිඳ වැටුණේ, කර්ටිස් කැම්පර් ලකුණු 30 කට දැවී යාමත් සමගයි. අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ හෙන්රි ටෙකර් ලකුණු 42 ක් රැස් කළා.

    අයර්ලන්ත කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ, ලකුණු 168 ක් පමණයි. පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් කඩුලු 4 ක් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක් දවා ගත්තා.

    තරගයේ වීරයා සම්මානය හිමි වූයේ, ප්‍රභාත් ජයසූරියට. දෙරට අතර, දෙවැනි ‍ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 24 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතයි.

    Latest News