ශ්‍රී ලංකා-අයර්ලන්ත මංගල ටෙස්ට් සටන හෙට ඇරඹේ

අප්‍රේ 15, 2023

    ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතයි. ‍ඒ, ගාල්ල, ජාත්‍යන්තර ක්‍රීඩාංග‍නයේදී.


    කණ්ඩායම් දෙක අද සිය අවසන් පුහුණුවීම්වල නිරත වනවා. ශ්‍රී ලංකා සංචිතයට යොවුන් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ඇතුළත්.

    ශ්‍රී ලංකාව හා අයර්ලන්තය ටෙස්ට් ක්‍රිකට් තරගයකට එක්වන්නේ පළමු වතාවටයි. නිරෝෂන් දික්වැල්ලට ටෙස්ට් සංචිතයේ ඉඩ හිමිව නැති අතර කලකට පසුව ලසිත් ඇඹුල්දෙණිය ටෙස්ට් කණ්ඩායමට එක්වනවා.

    පළමු තරගය හෙට ගාල්ලේදී ආරම්භ වන අතර දෙවන තරගයත් පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීමයි. එය ලබන 24 වනදා ආරම්භ වනවා.

    මේ අතර පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

    දිමුත් කරුණාරත්න (නායක), කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිශාන් මධුෂ්ක, සදීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, දුෂාන් හේමන්ත, ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, මිලාන් රත්නායක.

    කෙසේ වෙතත් නවසීලන්ත සංචාරයේදී අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ලට මෙන්ම ඕෂද ප්‍රනාන්දුට පළමු ටෙස්ට් තරගය අහිමි වන අතර, වේග පන්දු යවන්නන් වන කසුන් රාජිත සහ ළහිරු කුමාර පළමු තරගයෙන් විවේක ගන්වා තිබේ. පැතුම් නිස්සංක ද ටෙස්ට් සංචිතයට ඇතුළත් කර නැහැ.

    මේ වන විට ටෙස්ට් තරග 26කට නායකත්වය දී ඇති දිමුත් ඉන් තරග 10ක් ජයග්‍රහණය කරා මෙහෙයවද්දී තරග 10ක් පරාජය වී තිබෙන අතර, තරග 6ක් ජය පරාජයෙන් තොරව නිමා කර ගෙන ඇත.

    අයර්ලන්ත ටෙස්ට් සංචිතය - ඇන්ඩි බැල්බර්නි (නායක), මාර්ක් ඇඩෙයාර්, කර්ටිස් කැම්පර්, මරේ කොමින්ස්, ජෝර්ජ් ඩොක්‍රෙල්, ෆියොන් හෑන්ඩ්, ග්‍රැහැම් හියුම්, මැතිව් හම්ෆ්‍රීස්, ටොම් මේයස්, ඇන්ඩෲ මැක්බ්‍රයින්, ජේම්ස් මැකලම්, පෝල් ස්ටර්ලිං, පී.ජේ. මුවර්, හැරී ටෙක්ටර්, ලෝර්කන් ටකර්, බෙන් වයිට්.

    වසර 4කට පසු කණ්ඩායමට එක් වන පෝල් ස්ටර් ලිං දෙවැනි ටෙස්ට් තරගයට පමණක් ක්‍රීඩා කිරීමට නියමිතය.

    2018 වසරේ මැයි මස 11 වැනිදා පාකිස්තානයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමි කර ගත් අයර්ලන්තය මේ වන විට ක්‍රීඩා කර ඇත්තේ තරග 4ක් පමණි. පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, එංගලන්තය සහ බංග්ලාදේශයට එරෙහිව එම තරග පැවති අතර, ඔවුන් ඒ සියලු තරග පරාජය වුනා.

    ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය මින් පෙර එක්දින තරග 4ක් සහ විස්සයි20 තරග 3ක් ක්‍රීඩා කර ඇති අතර, ඒ සියලු තරග ජය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

    මේ සංචාරයට ද මින් පෙර එක් ටෙස්ට් තරගයක් සහ එක්දින තරග 2ක් ඇතුළත්ව තිබුණු අතර, පසුව දෙරටේ ක්‍රිකට් ආයතනවල එකඟත්වයෙන් එක්දින තරගාවලිය අවලංගු කළ අතර ටෙස්ට් තරග 2කින් සමන්විත තරගාවලියක් පැවැත්වීමට කටයුතු කෙරුණා.

    Latest News