නෙදර්ලන්තයට ලකුණු 163 ක ඉලක්කයක්

ඔක් 20, 2022

    ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය ජීලෝන්හිදී දැන් පැවැත්වෙනවා. 

    පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 162 ක් රැස් කළා.  

    තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයට පිවිසීමට නම්, ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජයග්‍රහනය අනිවාර්ය වනවා.  කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.‍  ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්. 

    ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 36 ක්.  පළමු කඩුල්ල ලෙස පැතුම් ලකුණු 14 කට දැවී ගිය අතර, ධනංජය ද සිල්වා ලකුණු රැස් කළේ නැහැ.  අනතුරුව තුන්වැනි කඩුල්ලට ලකුණු 60 ක සබඳතාවක් ගොඩනැගීමට කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක සමත් වුණා.  චරිත් අසලංක පන්දු 30 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 31 ක්.  භානුක රාජපක්ෂ ලකුණු 19 යි. 

    විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් තම 20-20 ක්‍රිකට් දිවියේ 9 වැනි අර්ධ ශතකය වාර්තා කළා.  ඔහු පන්දු 44 කදී ලකුණු 79 ක් රැස් කළේ, හතරේ පහර 5 ක් සහ හයේ පහර 5 ක් සමග.  කුසල් තම 20-20 ක්‍රිකට් දිවියේ ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව සම කිරීමටද සමත් වුණා.  පන්දු යැවීමේදී බාස් ඩි ලීඩ්ස් සහ පෝල් වෑන් කඩුලු 2 බැගින් දවා ගත්තා.  තරගය ජය ගැනීම සදහා නෙදර්ලන්තයට හිමි වූ ඉලක්කය ලකුණු 163 ක්. 

    Latest News