ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 79 ජයක්...

ඔක් 18, 2022

    20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර මූලික ව‍ටයේ තරගයෙන් ලකුණු 79 ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

    තරගය අද (18) පැවැත්වුණේ, ඔස්ට්‍රේලියාවේ ජීලෝන්හිදී.   මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 8ක් දැවී ලකුණු 152 රැස් කළා. දක්ෂ පිතිහරඹයක නිරත වූ පැතුම් නිශ්ශංක පන්දු 60 දී ලකුණු 74 ක් ලබාගත්තා. ධනංජය ද සිල්වා ලකුණු 33යි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් වූ භානුක රාජපක්ෂ, චරිත් අසලංක සහ නායක දසුන් ශානකගේ කඩුලු ත්‍රිත්වය පිට පිට පන්දු තුනකදී දවා ගැනීමට එක්සත් අරාබි එමිර් ක්‍රීඩක කර්තික් මයිඅප්පන් සමත් වුණා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක එක්සත් අරාබි රාජ්‍යයේ ක්‍රිඩකයෙකු කඩුලු ත්‍රිත්ව අවස්ථාවක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

    අනතුරුව ලකුණු 153ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි එක්සත් අරාබි ක්‍රිඩකයින්ට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. කණ්ඩායමේ කඩුලු 8ක් දැවි ගියේ ලකුණු 52ක් තුළයි. දුෂ්මන්ත චමීරගේ දක්ෂ පන්දු යැවීම අද තරගයේදී කැපි පෙනුනා. චමීර සහ වනිඳු හසරංග කඩුලු 3 බැගින් දවා ගත්තා. මහේෂ් තීක්ෂ්ණ කඩුලු 2යි. තරගයේ වීරයා ශ්‍රී ලංකා ක්‍රිඩක පැතුම් නිශ්ශංක.

    ඒ අනුව "A" කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වුණා. සුපිරි 12 දෙනාගේ වටය‍ට ඇතුළත් වීමට ශ්‍රීලංකා කණ්ඩායමට නෙදර්ලන්තය සමග තරගය අනිවාර්යෙන්ම ජයගත යුතුයි. ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය ලබන 20 වැනිදා ජීලෝන් හිදී පැවැත්වෙනවා.     

    Latest News