ශ්‍රී ලංකන් ලෙජන්ඩ්ස් තරග බිමට - තරගය සජීවීව රූපවාහිනී "අයි" නාලිකාවෙන්

සැප් 11, 2022

    ‍ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් ජය හිමි කර ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.

    ඔවුන් එරටදී ඊයේ තරග වැදුණේ, දකුණු අප්‍රිකා ලේජන්ඩ්ස් කණ්ඩායම සමගයි.  තරග‍යේ කාසිය වාසිය දින ගත් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම, මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා. ඉන්දීය ක්‍රීඩකයින් පන්දුවාර 20 ඇතුළත කඩුලු 4 ක් දැවී ලකුණු 217 ක් රැස් කළා. කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ නායක සචින්‍ තෙන්දුල්කා. ඔහු ලකුණු 16 යි. දක්ෂ පිති හරඹයක නිරත වෙමින් ස්ටුවට් බින්නි නොදැවි ලකුණු 82 ක් රැස් කළා. 6 පහර 6 ක් සහ 4 පහර 5 ක් ඊට ඇතුළත්. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ ජෝන් වෑන් ඩි වර්ත් කඩුලු 2 ක් දවා ගත්තා.

    ලකුණු 218 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා ‍ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 156 ක් පමණයි. සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ, නායක ජොන්ටි රෝඩ්ස්. ඔහු නොදැවී ලකුණු 38 යි. පන්දු යැවීමේ ඉන්දීය ක්‍රීඩක රාහුල් ෂර්මා කඩුලු 3 ක් බිඳ හෙලුවා.   ඒ අනුව, "රෝඩ්ස් සේෆ්ටි ලෙජන්ඩ්ස්" ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගයේ ජය හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා. 

    තරගාවලියේ මෙරට විකාශන අයිතිය දරන්නේ, ජාතික රූපවාහිනියයි. සියලු තරග "අයි නාලිකාව" ඔස්සේ සජීව ලෙස නැරඹිය හැකියි. ලෙජන්ඩ්ස් තරගාවලියේ තවත් තරග 2 ක් අද (11) පැවැත්වෙනවා. ඒ, බංග්ලාදේශ, කොදෙව් සහ ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර තරගයයි. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තරගය අද රාත්‍රී 7.30 ට ආරම්භ කෙරෙනවා.

    Latest News