ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 36යි....

ජූලි 17, 2022

    ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව තම දෙවැනි ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබා සිටියා.

    ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 222ක් ලබාගත් අතර පාකිස්ථාන පලමු ඉනිම ලකුණු 218 යි. තරගය පැවැත්වෙන්නේ, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. අද දිනය ආරම්භ කරන විට පකිස්තානය පළමු ඉනිමට කඩුලු 2 ක් දැවී ලකුණු 24 ක් රැස් කර ගෙන සිටියා. අද දිනය සඳහා ඔවුන් එක් ලකුණක් හෝ රැස් කර ගැනීමට පෙර අසාර් අලී දැවී ගියේ ප්‍රභාත් ජයසූරියගේ පන්දුවකට. පකිස්තාන ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු පුවරුව 64 ක් වන විට දැවී ගියා. අනතුරුව, ලකුණු 21 ක් තුළ තවත් කඩුලු 3 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් සමත් වුණා. ඉනිමේ 08 වැනි කඩුල්ල ලෙස යසිර් ෂා දැවී ගිය අතර, 09වන කඩුල්ල ලෙස දැවී ගියේ හසන් අලී. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකල බාබර් අසාම් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 22 වැනි ශතකය අද වාර්තා කළා. ඔහු නසීම් ෂා සමග එක්ව අවසන් කඩුල්ල සඳහා ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 70ක්. පාකිස්ථාන කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස බාබර් අසාම් ලකුණු 119කට දැවී ගියා. ඔහුට අනගි සහයක් ලබාදුන් නසීම් ෂා පන්දු 52කට මුහුණ දෙමින් ලකුණු 5ක් රැස්කළා. විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 82කට කඩුලු 05ක් දවාගත්තා. ඔහු ඉතිහාසයට එක්වුණේ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ඉනිම තුනේදීම කඩුලු 05 බැගින් දවාගත් මෙරට පළමු පන්දු යවන්නා ලෙසයි. ඔහු ‍එම දක්ෂතාව දැක්වූ ලොව 08වැනි පන්දු යවන්නායි. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කළේ ඕෂධ ප්‍රනාන්දු සමග නායක දිමුත් කරුණාරත්න. ඉනිමේ පලමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 16 කට දැවී ගියා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ, අගෝස්තු මස පළමුවැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කල් දැමූ බවයි.

    Latest News