පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරඟාවලියේ ජය සංකේත ප්‍රදානය

දෙසැ 10, 2021

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරඟාවලියේ ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ බිලියඩ් ශාලාවේදී අද (09) පැවැත්විණ.

    අංශ 05 ක් යටතේ තරඟාවලිය පැවැත්විණ. දාම්  තරඟ අංශයේ ශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.එච්.එම් ධර්මසේන මහතා දිනා ගත්තේය. එහි අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා විසින් දිනා ගනු ලැබීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද මහතා චෙස්, කැරම් සහ ස්නුකර් යන තරඟ අංශ 03 හිම ශූරතාව දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයකි. මේසපන්දු තරඟ අංශයේ ශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා දිනා ගත්තේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා චෙස් සහ ස්නුකර් යන තරඟ අංශවල අනුශූරතාව දිනා ගැනීමට සමත් විය. කැරම් අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා දිනා ගත් අතර, මේස පන්දු අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද මහතා දිනා ගත්තේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරඟාවලිය මෙවර පැවැත්වුණේ 02වැනි වරටයි. ඒ. උපාලි ප්‍රේමචන්ද්‍ර,කේ.පී.ඊ.නන්දදේව, එච්.ජි අනුෂ්ක මධුරංග  යන පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලයේ සාමාජිකයෝ තරඟ විනිශ්චය කිරීමෙන් දායක වූහ.

    ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය කිරිමේ අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු , විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක්ද, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

    තරඟාවලිය සඳහා මුල්‍ය අනුග්‍රහය ලංකා බැංකුව සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ලබා දෙන ලදී. තරඟාවලියේ ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කටයුතු කළේය.

    Annual Sports 9

    Annual Sports 2

    Annual Sports 5

    Latest News