ෆයිසල්ගේ බාල්දිය හරීන්ගේ ඔලුවේ වැටේ

ජන 18, 2019

    ලබන මස 07 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය සති දෙකකින් කල් දැමූ බව, ක්‍රීඩා අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේය.

    ඒ පිළිබඳව බදුල්ලේ අද පැවති උත්සවයකින් අනතුරුව, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අදහස් පළ කළේය.

    “ඊයේ දවසෙදි මම දැක්කා එක් කණ්ඩායමක් විසින් දිගින් දිගටම කියනවා ක්‍රිකට් නිලවරණය ඇමතිවරයා විසින් ප්‍රමාද කරලා තියෙනවා කියලා. ඒක පට්ටපල් බොරුවක්. ඇත්ත වශයෙන්ම වෙලා තියෙන්නේ මට ඉස්සෙල්ලා හිටපු අමාත්‍යවරයා විසින් ගහපු ගැසට් නිවේදනයේ අඩුපාඩුවක් තිබුණා. ඒකේ තිබුණේ මැතිවරණයක් කතා කළාට පස්සේ ඒකට ඇපිල් කමිටුවක් පත්කරන්න පුලුවන්.

    ඒ ඇපිල් කමිටුව පත්කිරීමේ දී ඉංග්‍රීසි ගැසට්ටුවේ තිබුණේ විශ්‍රාම ගිය විනිසුරුවරුන් පත්කරන්න පුලුවන් කියලා. සිංහල එකේ තිබුණේ මහාධිකරණ විනිසුරුවන් පත්කරන්න පුලුවන් කියලා. ඇමතිවරයා වශයෙන් මට මහාධිකරණ විනිසුරුවන් පත්කරන්න බැහැ. ඒකට මට නීතිමය අයිතියක් නැහැ.

    ඒ නිසා නීතිමය උපදෙස් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යැව්වා. එහි ප්‍රමාදය තමයි දැනට තියෙන්නේ. ඒක නිසයි 21වැනිදා දක්වා සති දෙකකින් ප්‍රමාද වුණේ“ යැයි ඔහු කියා සිටියේය.

    Latest News