ලකුණු හඹාගිය ශ්‍රී ලංකාවට අත්වූ ඉරණම

ජන 08, 2019

    ශ්‍රී ලංකා - නවසීලන්ත එක්දින තරගය 3-0ක් ලෙසින් නවසීලන්තය අද ජයග්‍රහණය කරනු ලැබුවේ තෙවැනි තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 115කින් පරාජය කරමින්. 

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට උදාකර දුනි.  ඒ අනූව, පිටියට පිවිසි මාර්ටින් ගප්ටිල් සහ කොලින් මන්රෝගේ කඩුල්ල ලකුණු 31ක් තුල දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය.  එසේ වුවද, තෙවැනි කඩුල්ල සඳහා පිටියට පිවිසි නායක කේම් විලියම්සන් සහ රොස් ටේලර් එක්ව 116ක සබඳතාවක් ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායම ස්ථාවර ලකුණු මට්ටමක් කරා ගෙන එනු ලැබිණ.  ලකුණු 55ක් රැස්කරගෙන සිටි නායක කේම් විලියම්සන්, ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවකට ධනංජය සිල්වා වෙත උඩ පන්දුවක් ලබා දීමෙන් දැවී ගියේය.  ඉන් අනතුරුව පිටියට පිවිසි හෙන්ඩ්‍රි නිකල්ස්, රොස් ටේලර් සමග එක්ව විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 153ක සබඳතාවක් ගොඩනැගීමට සමත්විය. ඒ අනූව ලකුණු 137ක් රොස් ටේලර් විසින් අද දිනයේ දී රැස්කළ අතර එය ඔහුගේ 20 වැනි එක්දින ශතකයක ද වේ.  හෙන්ඩ්‍රි නිකල්ස් නොදැවී ලකුණු 122ක් රැස්කිරීමට සමත් විය. 

    ඒ අනූව, නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 364ක් රැස්කර ගත්තේය. ලකුණු 364ක ජයග්‍රාහී ඉලක්කක් හඹා යමින් ශ්‍රී ලංකා ඉණිම ආරම්භ කළ නිරෝෂන් දික්වැල්ල හා ධනංජය සිල්වා අතර ප්‍රථම කඩුල්ල සඳහා ලකුණු 66ක සබඳතාවක් ගොඩ නැංවිණ.  ලකුණු 36ක් ලබා සිටි ධනංජය සිල්වා දැවී ගියේ ටිම් සවුතිගේ පන්දුවක් ඉදිරි පාදයේ වැදීමෙනි.   අද දිනයේ ද විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් තිසර පෙරේරා පන්දු 63ක් තුළ ලකුණු 80ක් ලබා ගැනීමට හැකිවුව ද සෙසු පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයෙන් ද පරාජයට පත්විය.  ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 4ක් තුළ ලකුණු 249ක් රැස්කිරීමට සමත් වූයේය.

     

     

    Last modified on අඟහරුවාදා, 08 ජනවාරි 2019 11:29

    Latest News