වෘත්තිය පුහුණු ක්‍ෂේත්‍රය යළි පනගැන්වීමට ජනපතිගෙන් උපදෙස්

දෙසැ 27, 2019

    වෘත්තිය පුහුණු ක්‍ෂේත්‍රය යළි පනගැන්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    ඒ, නිපුනතා සංවර්ධන රැකිරක්‍ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයේ නිලධාරින්, ආයතන ප්‍රධානීන් සමග අද සවස පැවති සාකච්ඡාවකදීය. සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදීය.

    වාත්තිය පුහුණු ක්‍ෂේත්‍රෙයේ පුනරුදයක් ඇති කොට ඉහළ නිපුනතාවෙන් යුත් ශ්‍රමියකයන් දේශීය සහ අන්තර්ජාතික රැකියා වෙළෙඳපොලට හඳුන්වාදීමේ වගකීම ඉට කරන ලෙස ජනාධිපතිතුමා එහිදී නිලධාරීන්ට පැවසුවාය. දෙස් විදෙස් රැකියා වෙළෙඳපොල අධ්‍යයනය කරමින්, එම අවශ්‍යතා සපුරාලිය හැකි පාඨමාලා හඳුන්වාදීම කඩිනම් කළයුතුය. දිළිඳු ජනතාව නගා සිටුවීමට ස්වයං රැකියා ආශ්‍රිත පුහුණු අවස්ථා පුළුල් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරුණේය.

    වෘත්තිය පුහුණු ක්‍ෂේත්‍රය පිළිබඳ තරුණ පරපුර තුල ආකල්පමය වෙනසක් ඇති කිරීම වැදගත්වේ. වෘත්තියේ ගරුත්වය සහ ආකර්ශනය හිමිවන අන්දමින් පාඨමාලා සැළසුම් කිරීමේ වැදග්තකමද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. රටේ වැදගත්ම ක්‍ෂේත්‍රය කෘෂිකර්මාන්තයයි. ඊට අදාළ උපාධි පාඨමාලා නොතිබීම ගැන අවධානය යොමු කළ ජනාධිපතිතුමා, වෛද්‍ය, ඉංජිනේරු ක්‍ෂේත්‍ර මෙන්ම කෘෂිකර්මාන්තයේ ප්‍රවීනයන් හා පර්යේෂකයන්ද රටට දැඩිව අවශ්‍ය බව කියා සිටියේය.. ගෘහ සේවය සඳහා යන කාන්තාවන්ට ද නිසි පුහුණුවක් ලබාදී වෘත්තියේ ගරුත්වය ඇති ශ්‍රමිකයන් ලෙස රැකියා අවස්ථා උදා කළ යුතුයි. ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇති පුහුණු හෙදියන් එම රැකියා අවස්ථා සඳහා යොමු කිරීම සහ අදාළ පුහුණුවීම පිළිබඳවද ජනාධිපතිතුමා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය. පුරවැසියන් ඉලක්ක කර ගත් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ඵලදායීතා ලේකම් කාර්යාලයේ කාර්ය භාරයද සමාලෝචනය කෙරුණේය. රාජ්‍ය ආයතනවල ඵලදායීතා වර්ධනයට විධිමත් සැළැස්මක අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    ජන ජීවිතයට සෘජුව බලපාන මහජන සේවා සපයන ආයතන කිහිපයක් හඳුනා ගනිමින් ඒවායේ කාර්යක්‍ෂමතාව හා ඵලදායීතාව විමර්ශනයටද උපදෙස් දුන්නේය. අඩු ආදායම්ලාභී හා ඉහළ අධ්‍යාපන සුදුසුකම් රහිත තරුණ තරුණියන්ට රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන සඳහා එම අමාත්‍යාංශයේ දායකත්වයද විමර්ශනය කෙරුණේය. අමාත්‍යාංශ 3 ක් යටතේ පැවති නිපුනතා සංවර්ධන, රැකීරක්‍ෂා සහ කම්කරු සබඳතා යන විෂයයන් විද්‍යාත්මක පදනමකින් එක් අමාත්‍යාංශයක් යටතට ගෙන ඒමට ජනාධිපතිතුමා ගත් පියවර රටේ සංවර්ධනයට රුකුලක් බව නිලධාරීහු පෙන්වා දුන්හ.

    අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන, ඩී.එම්.සරත් අබේගුණවර්ධන, අනුර දිසානායක යන අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සිකුරාදා, 27 දෙසැම්බර් 2019 20:12

    Latest News