වන සංරක්‍ෂණ කලාපය ගැසට් කරනවා; අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන (වීඩියෝ)

දෙසැ 21, 2019
  • ලබන වසරේ මුල් කාර්තුවේ දී හම්බන්තොට වන රක්‍ෂණ කළමනාකරණ කලාපය, අනිවාර්යයෙන් ගැසට් කරන බව, අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

    හම්බන්තොට ප්‍ර දේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින්, අමාත්‍යවරයා මේ බව පැවසීය. වන අලි පහරදීමෙන් මියයන පුද්ගලයෙකු වෙනුවෙන් දැනට ලබාදෙන රුපියල් ලක්‍ෂ 5 වෙනුවට රුපියල් ලක්‍ෂ 10ක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව, අමාත්‍යවරයා සඳහන් කළේය. වන්දි මුදල් ගෙවීමේ ප්‍රමාදය ඉවත් කිරීමට නව ක්‍රමවේදයක් සකස් කෙරේ. වන්දි ප්‍රදානය කඩිනම් කිරීම සඳහා, වූ අරමුදලක මුදල් කලින් තැන්පත් කෙරෙනු ඇත.

    ඒ පිළිබඳ අදහස් පළ කළ එස්.එම්. චන්ද්‍රසේන මහතා...

    “විශේෂයෙන්ම පසුගිය අවුරුදු පහ තුළ අලි-මිනිස් ගැටුම සම්බන්ධව පැවති රජය කිසිම දෙයක් කළේ නැහැ කියලා මම නිර්භීතව කියනවා. ඒකට හේතුව තමයි සරත් ෆොන්සේකා හිටපු වන ජීවි ඇමතිවරයත්, නියෝජ්‍ය ඇමතිවරයත්, ගහගත්තා පාර මැද. ගහගෙන ඒ ගොල්ලන්ට ඒගොල්ලන්ගේ ගැටුම නවත්තගන්න බැරිව තිබුණේ. අලි-මිනිස් ගැටුම නවත්වනවා තියා. ඒ නිසා එතන ඒ කටයුත්ත කෙරුණේ නැහැ. ඊළඟ පත්කළ ජෝන් ඇමතිතුමා වත්තල. එතුමට මේ පිළිබඳව ප්‍රායෝගික දැනුමක් නැහැ. මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වන අලීන්ගෙන් බැටකන ප්‍රදේශයක ජනතාව නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියට මට මේක හොඳට ඇඟට දැනෙනවා. ස්ථිරවම මම මේ කටයුත්ත කරනවා. මොකද අපි දෙයක් කිව්වොත් කරනවා. ඒ නිසා ලබන අවුරුද්ද ඇතුළත ඒ වන සංරක්‍ෂණ කලාපය අනිවාර්යයෙන්ම ගැසට් කරනවා කියන එක කියන්න කැමතියි“ යැයි එස් එම් චන්ද්‍රසේන මහතා පැවසීය. 

    ඉඩම්, වනජීවි වන සංරක්‍ෂණ හා අභය භූමිවල ගැටලු නිරාකරණයට කඩිනම් විසඳුම් ලබාදෙන බව ද අමාත්‍යවරයා කියා සිටියේය. හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    Last modified on සෙනසුරාදා, 21 දෙසැම්බර් 2019 22:19

    Latest News