අයහපත් කාලගුණයෙන් 2ක් මරුට..2530ක් පීඩාවට

දෙසැ 21, 2019

    පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ දිවයිනේ මේ වන විට පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබේ. විශේෂයෙන්ම තද වැසි සහ ජලගැලීම් හේතුවෙන් පීඩාවට පත්වූ මුළු පවුල් සංඛ්‍යාව 2530ක් වන අතර පුද්ගලයින් සංඛ්‍යාව 9016කි.

    දිස්ත්‍රික් 12ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 58ක් ආපදා තත්වයට මුහුණ දී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් ආපදාවට ලක්වූ පිරිස සොයා ගැනීම සහ බේරා ගැනීම වෙනුවෙන් පැය 24 පුරාම උපරිම දායකත්වයක් ලබා දෙමින් කටයුතු කරනු ලැබේ.

    පූර්ණ වශයෙන් හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 21ක් වන අතර අර්ධ නිවාස හානි 251ක් සිදුව ඇති බවට වාර්තා වී තිබේ. මෙම පූර්ණ හා අර්ධ වශයෙන් හානි සිදු වූ නිවාස වෙනුවෙන් උපරිමය රුපියල් ලක්ෂ 25ක් දක්වා ජාතික රක්ෂණභාර අරමුදල හරහා මහජනතාවට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට විධිවිධාන යොදා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

    මේ වන විට ආරක්ෂක මධ්‍යස්ථාන 44ක පවුල් 1228ක පුද්ගලයින් 4284ක් තාවකාලිකව රඳවා තිබෙන අතර ාපදා කළමනාකරණ මධ්‍යස්ථාන සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ඒකාබද්ධව දවසේ පැය 24 පුරාම අඛණ්ඩව අවශ්‍ය පරිදි සහන ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යවා ඇති අතර එහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ඒ ඒ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම අඛණ්ඩව ක්‍රියාත්මකයි.
    මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල,පල්ලෙගම,යටවත්ත,නාවල,විල්ගමුව හා රත්තොට යන ප්‍රදේශවලටත්,මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර හා මැදදුම්බර ප්‍රදේශවලටත්,නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයටත්, බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල,බණ්ඩාරවෙල, වැලිමඩ,හාලිඇල,ඌවපරණගම, ඇල්ල,හල්දුම්මුල්ල,පස්සර හා ලුණුගල යන ප්‍රදේශවලට හා හපුතලේ දිස්ත්‍රික්කයේ සොරණතොට ප්‍රදේශයටත් නායයෑමේ නිවේදන නිකුත් කර තිබේ.
    තවද නාය යෑම පිළිබඳව දෙවන අදියර නිවේදනය මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර,මැදගම හා බිබිල ප්‍රදේශවලටත්,රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ හා ඉඹුල්පේ ප්‍රදේශවලටත් නිකුත් කර ඇති අතර නාය යෑම් ලක්ෂණ පිළිබඳව සැලකිලිමත්වන ලෙසත් එම ප්‍රදේශවල වෙසෙන මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    මේ සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇතොත් 117 දුරකථන අංක ඔස්සේ සම්බන්ධවන ලෙසත්, එම වැඩපිළිවෙළ පැය 24 පුරාම ක්‍රියාත්මක බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරයි.

    Last modified on සෙනසුරාදා, 21 දෙසැම්බර් 2019 16:29

    Latest News